තමාට ලබාදුන් ප්‍රතිකාර සඳහා රුපියල් 1,47,074 (ඩොලර් 784 මුදලක්) අය කළ බවට විදේශීය සංචාරක කාන්තාවක් කළ පැමිණිල්ලක් අනුව සංචාරක පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා ගාල්ල වෛද්‍ය අඹුසැමි යුවළක් ඉදිරිපත් කර තිබු අපේක්ෂිත ඇප අයදුම්පත් දෙකක් සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා
පොලිසිය යම් අවස්ථාවක ඔවුන් අත්අඩංගුවට ගතහොත් එම අවස්ථාවේම එක් අයකු රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර දෙදෙනාගේ ගමන් බලපත්‍ර අධිකරණයට බාර දීමට ද නියෝග කළේය.

ගාල්ලේ පදිංචි වෛද්‍ය යුවළක් විසින් මෙම  අනපේක්ෂිත ඇප අයැදුම් පත් ඉදිරිපත් කර තිබිණි.  මෙහි වගඋත්තරකරුචන් ලෙස කොළඹ 3 ගාලු පාර, සංචාරක පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සහ ගාල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා තම්කර තිබිණි.  ඉල්ලුම්කරුවන්ගේ නීතිඥවරයා
අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඉල්ලුම්කරු සහ බිරිය විදේශිකයන් සඳහා ප්‍රතිකාර කිරිමේ වෛද්‍ය සේවාවක් ලියා පදිංචිකර ගාල්ල නගරයේ පුද්ගලික රෝහලක් ආශ්‍රිතව එම සේවාව පවත්වාගෙන යන අතර ඉකුත් ජනවාරි 31 වන දින රාත්‍රි 8.30ට පමණ ඕස්ටේ‍්‍රලියානු ජාතික සංචාරක කාන්තාවක් අසනීප වී ප්‍රතිකාර ගැනීමට පැමිණි බවය.

 ඇය ප්‍රතිකාර ලබා පැය හතරකට පසු එනම් අලුයම එකට පමණ පිටවී ගිය බවත් එසේ පිටවී ගොස් තමාට කළ ප්‍රතිකාර සඳහා අය කළ මුදල ඉතා අධික බැවින් එම මුදලින් කොටසක් ආපසු ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ සංචාරක පොලිස් කොට්ඨාසයේම ස්ථානාධිපතිවරයාට පැමිණිල්ලක් කර ඇති බවත් කියා සිටි නීතිඥවරයා පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීමකට අනුව පෙබරබාරි 3 වැනිදා ඉල්ලුම්කරු එහි ගිය බවද කීය.

ප්‍රතිකාර ලබාගත් කාන්තාව සහ ඇයගේ සැමියාට ලෙස හඳුන්වන ලද පුද්ගලයකුද එහි පැමිණ සිටි බවත් ඇයට කළ ප්‍රතිකාර වෙනුවෙන් අය කළ මුදල වැඩි නිසා ආපසු රට යාමට පෙර කිසියම් මුදලක් ආපසු ලබා ගැනීම ඇයගේ ඉල්ලීම බව පොලිස් නිලධාරීයා කියා සිටි බවත් බිල්පත පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න ඇසීම් නිසා ඉල්ලුම්කරු වෙහෙසකර තත්වයට පත්වූ බවත් අවසානයේ සමථයක් වශයෙන් රුපියල් 66,000ක් (ඩොලර් 375ක්) ආපසු ඇයට දුන් බවත් නීතිඥවරයා පැවසීය.

ඉන්පසුව ප්‍රශ්නය අවසන් වී ඇතැයි සිතුවද වෛද්‍ය ආයතනයේ බිල්පත් සකස් කළ ලද සේවිකාවට පැමිණෙන ලෙය පසුදින තවත් ඇමතුමක් ලැබුණ බවද ඒ
අනුව නීතිඥයකුද සමග ඇය එහි ගියවිට බිල්පත් සඳහන් මුදල් ගණන් පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කර ඇති බව ද නීතිඥවරයා කීය.  නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ වෛද්‍ය ආයතනය විසින් වෛද්‍ය සේවය සඳහා ලබාදෙන ලද බිල්පතක් වෙනුවෙන් මෙම ඉල්ලුම්කරු යම් හෙයකින් අත්අඩංගුවට ගතහොත් ඔහුගේ වෘත්තීය කීර්තිනාමයට හානියක් සිදුවීමේ අවදානමක් පවතින බවය.එමනිසා පළමුවන සහ දෙවන වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් වරදක් සිදුකර ඇති බවට හෝ එවැනි වරදක් සිදුකිරීමෙහිලා සම්බන්ධවී ඇති බවට සැකකොට යම් හෙයකින් අත්අඩංගුවට ගනු ලැබුවහොත් මෙම අධිකරණයට සුදුසු යයි හැඟෙන ඇප කොන්දේසි මත ඉල්ලුම්කරුවන් මුදා හැරීමට කටයුතු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.

 සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉල්ලුම්කර අඹුසැමි යුවළට මෙසේ අපේක්ෂිත ඇප නියම කළේය.

උණවටුන ඩී.පී. සුගතපාල