මව පියා අතහැර යෑම නිසා මිත්තණිය විසින් හදාවඩා ගැනීමට ලබාදුන් වයස අවුරුදු තුනහමාරක දැරියකට ආහාරපාන ලබා නොදී මාස ගණනාවක් තිස්සේ අමානුෂික අන්දමින් පහරදී සිරුරේ විවිධ ස්ථාන ගින්දරින් පුලුස්සා වදහිංසාවන්ට ලක් කර ගසක මුලෙහි හිස හප්පා ඝාතනය කිරීමේ චෝදනාවට අනුරාධපුර
මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි එක්දරු පියකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඔහුට මරණ දඬුවම නියම කළේය.

එසේ මරණ දඬුවම නියම වූයේ සම්පත්ගම සුදර්ශනගම හූරිගස්වැව ලිපිනයේ පදිංචිව සිටින ඉඟුරුවත්ත ගෙදර සේනාරත්න රණතුංග නොහොත් ගාමිණී නමැති විත්තිකරුටයි. විත්තිකරු විසින් වර්ෂ 2005 ජුනි මස 21 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ඉහත ලිපිනයේ පදිංචිව සිටි සඳුනිකා උපේකා ලක්මාලි නමැති මාස 38ක දැරිය ඝාතනය කළ බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය
යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව කියමින් නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

විත්තිකරු බිරිය හා ඇගේ දියණිය ගල්නෑව පොලිස් වසමේ සුදර්ශනගම හුරීගස්වැව ලිපිනයේ පදිංචිව සිටියදී මව හා පියා හැර යෑම නිසා අසරණව සිටි දැරිය ඇගේ මිත්තණිය විදේශ ගත වීම නිසා විත්තිකරුට හදාවඩා ගැනීමට ලබාදී ඇති බවත් ඇයව විත්තිකරුට භාර දුන් දිනයේ සිටම අමානුෂික වදහිංසා පමුණුවා තිබෙන බවත් කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික නඩු විභාගයේදී අනාවරණය විය.

විත්තිකරු, බිරිය හා ඔවුන්ගේ දියණිය අමානුෂික අන්දමින් නිවෙසේ කාමරයක සිර කර කෑමට බීමට කිසිවක් නොදී පහරදී පුලුස්සා ඇති බව නඩුවේදී සාක්‍ෂි දුන් අසල්වැසියන් කිහිප දෙනකුම අධිකරණය හමුවේ පවසා තිබූ අතර කුඩා දියණියට ආහාරපාන ලබා නොදෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් අසල්වැසියන් විත්තිකරුගේ බිරියගෙන් අසන විට ඇයට ආහාරපාන ගත් විගසින් බඩේ අමාරුවක් වැලඳී බඩඑළිය යන නිසා ආහාර ලබා නොදෙන බව ඈ පැවැසූ බවත් පැමිණිල්ල වෙනුවෙන් මූලික සාක්‍ෂි දුන් අසල්වැසියන් අධිකරණයට සැල කර තිබිණි.

දැරිය සිර කර විත්තිකරුවන් රැකියා කටයුතුවලට ගොස් නැවත එනවිට දැරිය කාමරයේ මලපහ කර තිබුණහොත් ඇයට පහරදී පුලුස්සා දඬුවම් කරන බවත් මූලික නඩු විභාගයේ අනාවරණය වී ඇත.දිනක් දියණිය නිවෙස ඉදිරිපිට මිදුලේ වාඩි වී සිටියදී ඒ අසලින් ගිය අසල්වැසි කාන්තාවක් නැන්දා පුතාට ආදරෙයිද යනුවෙන් ඇසූ අවස්ථාවේ නැන්දත් ගහනවා මාමත් ගහනවා අක්කත් මට ගහලා පුලුස්සනවා යනුවෙන් පැවැසූ බවත් අසල්වැසියකු ඇයට කෑමක් ලබාදුන් බව දැනගත් පසුව විත්තිකරු ඇතුළු පිරිස එම දියණියට අමානුෂික වද බන්ධනයන් සිදු කරන බවත් මූලික නඩු විභාගයේදී තොරතුරු හෙළිව තිබේ.

ඝාතනයට ලක්වූ දැරිය නැවතත් පවුලේ ඥාතීන්ට භාර දෙන බව පවසමින් විත්තිකරු ජුනි මස 20දා නිවෙසින් රැගෙන ගොස් නිරාවිය සත්ත්ව ගොවිපළ ආසන්නයේ පැවැති දන්සලකදී ආහාර ඉල්ලූ අවස්ථාවේ පහරදී තිබෙන බවත්, පසුව ඇගේ හිස හික් ගසක මුලෙහි ඇන බරපතළ තුවාල සිදු කර සිහිසුන් වූ අවස්ථාවේ ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රජයේ රෝහලට ගෙන ගොස් ඇතත් දැරිය ඒ වන විටත් මරණයට පත්වී තිබුණු බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබූ බවත් මූලික නඩු විභාගයෙන් අනාවරණය වී තිබිණි.

විත්තිකරු දැරියට දන්සලේදී අමානුෂිකව පහරදුන් බව සාක්‍ෂි ලබාදුන් පිරිසක් අධිකරණයට සැල කර තිබූ අතර දැරියගේ සිරුර පුරා පැරැණි හා අලුත් පිලිස්සුම් තුවාල මෙන්ම පහරදීම නිසා ඇතිවූ තුවාල කැළැල් රැසක් තිබූ බවත් මරණයට හේතුව ඝාතනයක් බවත් එවකට අනුරාධපුර රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතා සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී තිබේ. දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ 14 දෙනකු සාක්‍ෂි ලබාදී තිබූ අතර විත්තිකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇගේ බිරිය වූ පොල්කොටුවේ ගෙදර කුසුමලතා නමැත්තියත් ගල්නෑව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඝාතනයට ලක්වූ දැරිය කරදියාන පාර වෑවල පිළියන්දල ලිපිනයේ පදිංචිව සිට ඇති අතර අවුරුදු දෙකහමාරේදී මව සහ පියා විසින් හැර දමා යෑම නිසා ඇය මිත්තණියට භාරදී ඇති බව මූලික නඩු විභාගයේදී හෙළි විය. විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති නිසා විත්තිකරුට මරණ දණ්ඩනය නියම කරන බව විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

-මහේෂ් විජේසූරිය-