පාසලේ පවුල්වාදය ගෙනයෑමට ඉඩ දෙන්න බැහැ. දේශපාලන හයියට තමයි විදුහල්පති වුණේ. විදුහල්පති විශ‍්‍රාම ගිය විට බිරිඳ විදුහල්පති කර ගනු ලැබුවා. ඇය විශ‍්‍රාම යෑමට කිට්ටුවන මොහොතේ ඇයගේ සහෝදරියක් උප විදුහල්පතිනිය කරගන්න කටයුතු කරගෙන යනවා. එසේ කටයුතු කරන්නේ ඇයත් ඉදිරියේදී
පාසලේ විදුහල්පතිනිය කරන්නයි. දැනට විදුහලේ උප විදුහල්පති වශයෙන් පාසලේ සියලූ කටයුතු හොඳින් කරගෙන ගිය උප විදුහල්පතිවරයා අසල විදුහලකට මාරු කරන්න කටයුතු කරගෙන යනවා. පරිපාලනය ඉතාමත් දුර්වලයි. ඒ අයට අවශ්‍ය අයුරින් පාසල පාලනය කරන්න දෙන්න බැරි නිසා අපි ගමේ
සියල්ලන්ම එකට එකතු වී අඹේපුස්ස පාසල අසල විරෝධතාවක් පවත්වන බව උඩුවල්පොල අඹේපුස්ස පදිංචි ඊ. පී. රමණි මිය විරෝධතාවට එක්වෙමින්  එසේ පැවසුවාය.

වරකාපොල අඹේපුස්ස මහා විද්‍යාලයේ පාසල් දරුවන්ගේ දෙමාපියන් 500 කට ආසන්න පිරිසක් ඊයේ (11 දා) දින උදේ 8.00 සිට දහවල් වන තෙක් විරෝධතාවයේ රැඳී සිටියහ. මෙහිදී තවදුරටත් විරෝධතාවයේ රැඳී සිටි ඊ. පී. රමණි මිය මෙසේ ද පැවසුවාය.

මෙම විදුහලේ 2000 කට ආසන්නව සිටි සිසු සංඛ්‍යාව මේ වන විට 400 දක්වා පහත බැසලා. දරුවන්ගේ සවස පන්ති සියල්ල නතර කර දැම්මා. විෂයයන්ට අදාළ ගුරු මණ්ඩලය මාරු වුණා. සවස් කාලයේ දෙමවුපියන් විසින් මුදල් ගෙවා දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුකළා. දෙමළ ඉගැන්වීම සඳහා ගුරුවරයෙක් දෙමවුපියන් විසින් නොයෙක් විට ඉල්ලා සිටියත් ඒ ගැන කටයුතු කළේ නැහැ. උප විදුහල්පති දරුවන්ට ආදරෙන් ඉගැන්වීම් කටයුතු කරන හෙයින් ඔහු මාරු කිරීමට තීරණය කළා. දෙමාපියන් වශයෙන් පාසලේ දියුණුවට පත්කිරීමට කටයුතු කරන උප විදුහල්පතිවරයා මාරු කරනවාට අපි සම්පූර්ණ විරුධයි. පවුල්වාදය නිසා පාසල පිරිහෙනවා දකින්න බැරිම තැන තමයි අපි මෙම විරෝධතාවයේ නිරත වුණේ. අප ඉල්ලා සිටින්නේ අප විදුහලේ සිටි උප විදුහල්පතිවරයා අපට ලබාදෙන ලෙසයි.

මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේ කෑගල්ල අධ්‍යාපන කාර්යාලයේ නිලධාරි මහතුන් පිරිසක් පැමිණ උද්ගත වී ඇති ප‍්‍රශ්නය පිළිබඳව සාකච්ඡා පවත්වූහ.

වරකාපොල - සරත් ආනන්ද ලියනගේ