කිරිබත්ගොඩ - ඊරියවැටිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 360කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කැලණිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය මැඬලීම උදෙසා ලබාදුන් ජනාධිපති සම්මාන සඳහා තේරී සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගයන් සඳහන් කරයි.
මෙම ජනාධිපති සම්මාන උළෙල ඉකුත් 29 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති නමුත් මොහු අසනීප නිවාඩු ලැබ සිටි නිසා සම්මාන උළෙලට සහභාගි වී නොමැති බව එම ආරංචි මාර්ග පවසයි. තවද මෙම පොලිස් කොස්තාපල්වරයා හට ඉකුත් වසරේදී මත්ද්‍රව්‍ය වැටලීම්
සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන්ද සම්මාන හා පොලිස් ත්‍යාග මුදල් ලැබී ඇති බවද කැලණිය කොට්ඨාස ආරංචි මාර්ගයන් කියා සිටී.

2007 වසරේදී පොලිසියට බැඳුණු මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා පසුගිය කාලයේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ස්ථාපිත කැලණිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ සේවය කරමින් සිට ඇත. මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ මොහුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.

හෙරොයින් ජාවාරම්කරුවන් ලෙසට වෙස්වළාගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරීන් මෙම කොස්තාපල්වරයාගේ බිරිය හෙරොයින් ග්‍රෑම් 100ක් සමඟ පෙරේදා (30දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව මීට අදාළ පොලිස් කොස්තාපල්වරයාද අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ නිවෙස පරීක්ෂා කිරීමේදී නිවෙසේ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝ 03කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබිණි.

කොස්තාපල්වරයාට හෙරොයින් පාර්සල් ලබාදුන් කැලණිය - තොරණ හන්දිය ප්‍රදේශයේ කොමියුනිකේෂන් ආයතනයක් පවත්වාගෙන යන ප්‍රධාන සැකකරු සොයා විමර්ශන
ආරම්භ කර ඇත. එහි සඟවා තිබූ තවත් හෙරොයින් ග්‍රෑම් 150ක තොගයක් ත්‍රස්ත විමර්ශන බුද්ධි නිලධාරීන් විසින් පෙරේදා (30දා) රාත්‍රියේ සොයා ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා ඊයේ (31දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවද පොලිසිය පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය මත ක්‍රියාත්මක වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර, එහි වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජගත් නිශාන්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ. පෙරේරා මහතාගේ මෙහෙයවීම මත පොලිස් කොස්තාපල් සුජීව ඇතුළු එම බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

-චාමර අමරසූරිය-