කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක අරක්කැමියෙකු  ලෙස සේවය කරන 45 හැවිරිදි තම සැමියා හෝටල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් විසි හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක රවටා ඇය සමග
ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බව කියමින් හැටන් ප්‍රදේශයක් දෙදරු මවක හෙට්ටිපොළ පොලිසියට 24දා පැමිණිල්ලක් කර ඇත.  තම සැමියා මුහුණු පොත ඔස්සේ මෙම තරුණිය හඳුනාගෙන රැකියාවෙන් උපයන මුදල් ඇයට දෙන බැවින් තමාටත් දරු දෙදෙනාටත් ජීවත් වීමට මගක් නොමැති හෙයින්

මෙම සම්බන්ධය නතර කර දෙන  ලෙසත් ඇය පොලිසියට පැමිණිල්ලක් කරමින් ඉල්ලා ඇතැයි හෙට්ටිපොළ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

පැමිණිලිකාර කාන්තාව හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර තරුණ සිසුවිය හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකාරියක බවද පොලිසිය කියයි.

 තමාටත් සාධාරණයක් ඉටු කර දෙන්නැයි තරුණ මව හෙට්ටිපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  ආනන්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

පැමිණිලිකාර කාන්තාවගේ සැමියා කොළඹ සේවය කරන නිසා ඒ මොහොතේ ඔහු ගෙන්වා ගැනීමට නොහැකි හෙයින් හෙට්ටිපොළ පොලිස් වසමේ පදිංචි සරසවි සිසුවිය පැමිණිල්ල විභාග කිරිම සඳහා කැඳවූ බව පොලිසිය පවසයි.

මුහුණු පොතෙන් මෙම පුද්ගලයා  හදුනාගත් බවත් ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත් විවාහක පුද්ගලයකු බව

නොදැන බවත් සරසවි සිසුවිය පොලිස් ස්ථානාධිපති ආනන්ද රාජපක්ෂ මහතා සමග පවසා ඇතැයි කියති. තමා හෝටල් කිහිපයක් හිමි කෝටිපතියකු බව එම පුද්ගලයා තමාට පැවසූ බවද සරසවි සිසුවිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

අවස්ථා කිහිපයකදී ඔහු තමා හමුවීමට පැමිණි බවත් එසේ පැමිණන විට ජැන්ඩියට හැඳ පැළඳගෙන පැමිණි බවත් සරසවි සිසුවිය පවසන බවද පොලිසිය කියයි.  මෙම පුද්ගලයා හෝටලයක කෝකියකු බව තමා දැන නොසිටි බවත් ඔහු තමන්ට වරින්වර මුදල් දුන් බවත් සරසවි සිසුවිය පිළිගෙන ඇති අතර වහාම මේ සම්බන්ධය නතර කරන බවට ඇය පොලිස් ස්ථානාධිපති රාජපක්ෂ මහතා ඉදිරියේ පොරොන්දු වී තිබේ.

මෙම  මුහුණු පොතෙන් හදුනා ගත්තා තරුණ තරුණියන්
පිළිබඳව හරි තොරතුරු නොදැන පෙම් සබඳතා ගොඩනගා ගන්නා තරුණ  පිරිසට ‍මෙම  සිද්ධිය කදිම පාඩමක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

තොරතුරු -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය-