මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ඉහල ඇලහැර උමං ව්‍යාපෘතිය සිදු කරන්නට සම්බන්ධවූ Sinohydro corporation limited නැමැති චීන සමාගමක් සිදුකරන මහා පරිමාණ වන විනාශයක් ගැන
වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය හෙළිදරව් කර තිබේ.
එහි මාධ්‍ය සම්බන්ධීකාරක පේශල පසන් කරුණාරත්න මහතා මේ ගැන දක්වා තිබෙන අනාවරණ සටහන පහත පරිදිය.

ආවේණික සත්ත්ව හා ශාක ජීවීන් මෙන්ම ජෛව විවිධත්වය නිසා යුනෙස්කෝව 2010දී නකල්ස් වනාන්තරය ලෝක උරුමයක් බවට පත්කර ඇති පසුබිමක එය ජල පෝෂක කලාපය කරගෙන ඉදිවුණ රට මැද මහ සයුර ලෙස හඳුන්වන මොරගහකන්ද ජලාශය ආශ්‍රිත ඉහල ඇලහැර උමං ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය වෙත ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරිම වෙනුවෙන් සම්බන්ධව සිටින Sinohydro corporation limited නැමැති ආයතනය
මෙම විනාශය සිදු කරයි. ඔවුන්ට ලැබී ඇති අවසරය වන්නේ සේර ඇල්ල ආසන්නයේ සිට 1.8 km ක දුරක් වනාන්තරය තුලින් මාර්ගයක් ඉදිකිරිම වුවත් එහිදී ලැබී තිබෙන පරිසර සංරක්ෂණ කොන්දේසි උල්ලංඝණය කර ඉතාම ප්‍රථමික ආකාරයෙන්  විනාශකාරී ලෙස ගස් කපා දමා මහා පරිමාණ විනාශයක් නකල්ස් ස්වාරක්ෂක වනාන්තරයට ඔවු්න සිදු කර ඇත.

 අවසරය ලබා දී ඇති 1.8 km ට වඩා 750 m කට වැඩි (1 km කට ආසන්න)  දුරක් අනවසර ලෙස කපා දමා මාර්ගයක් සකස් කර ඇති අතර
 ඒ සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හෝ වෙනත් කිසිඳු ආයතනයක් දැනුවත් කර නොමැත. මෙම වැඩිපුර කපා දමා ඇති කොටස වනාන්තරය විනාශ කිරීමට හේතුපාදක වී ඇත. ඔුවන් එසේ කර ඇත්තේ කබරව ඔය හරහා ඉදිකිරීමට යෝජිත වූ පාලමට වැයවන මුදල් ප්‍රමාණය ඉතිරි කරගෙන 1 km ආසන්න දුරක් වනාත්තරය විනාශ කරමින් ගොස් පාලම වෙනුවට බෝක්කුවක් පමණක් කබරව ඔය හරහා දමා එකී ව්‍යාපෘතිය අවසන් කළ හැකි නිසා බවද ඒත්තු ගොස්  තිබේ.

කිසිඳු අවසරයකින් තොරව බෙලිගම රක්ෂිතය තුල අති විශාල ගස් ප්‍රමාණයක්, පැළෑටි ප්‍රමාණයක් විනාශ කර දැඩි පාංශු ඛාදනයක් සිදු වන ලෙස මාර්ගය සකස් කිරීමත්, ගඟ මැදට ගල් දමා ගඟට බාධා සිද්ධ වන ආකාරයෙන් කටයුතු සිද්ධ කිරීමත්, කබරව ඔයට පස් විශාල ලෙස මුදා හැරීම යන කාරණා සියල්ලත් ගත් කල්හි Shinohydro නැමැති මෙම ආයතනය කර ඇත්තේ
මහා පරිමාණ වරදකි.

එය මෙරට මූලික පරිසර නීතිද උල්ලංඝනය කර ඇත.
ඉවත් කරන ලද මහා පරිමාණ කළු ගල්, ගලවා දමන ලද අඩි 100ක් පමණ උස ගස් සහ පස් කියුබ් අති විශාල ප්‍රමාණයක්  කබරව ඔයට කෙලින්ම මුදා හැර ඇත.

මෙලෙස කිසිඳු අවසරයකින් තොරව හිතුමතේට හෙළි කර ඇති සම්පුර්ණ කොටසේ අවම වශයෙන් ගස් 2000 කට වැඩි ප්‍රමාණයක් හෙලා දමා ඇති බව  දක්නට ඇති අතර මෙම අනවසර කොටසේ කබරව ඔය හරහා වන බෝක්කුව ඉදිකිරීම සඳහා ගෙනත් දමා ඇති කොන්ක්‍රීට් කානු දෙකෙන් එක් කානුවක් මේ වන විට ගඟ දිගේ පහලට ගසා ගෙන ගොස් රැඳී ඇත. එමගින්ද ගඟට යම් තරමකට අවහිර කර ඇත.

අදාල චීන සමාගමට පරිසර අමාත්‍යංශයේ ප්‍රධාන නිලධාරියෙකුගේ සහය නිරතුරු ලෙස ලැබෙන බවත් ඔහුගේ උදව්වෙන් මෙම අනවසර හෙළි කිරීම නීත්‍යානුකූල කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නොයෙක් රාජ්‍ය ආයතන වලටද බලපෑම් කර ඇති පසුබිමක සියල්ල යටගැසී ඇති බවද වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය දන්වා සිටී.