ගාලු කොටුව ප්‍රදේශයේ නඩත්තු කටයුතු නිසි ලෙස සිදුනොවන අතර කොටුව තුළ කඩා වැටීමේ අවදානමක් සහිත ස්ථාන 17ක් හෝ ඊට වැඩිය ප්‍රමාණයක් පවතින බව තමන් කරනු ලැබූ නිරීක්ෂණයේදී අනාවරණය වූ බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි. ලෝක උරුමයක් මෙන්ම දකුණු
ලක සංචාරක මර්මස්ථානයක්ද වන ගාල්ල කොටුවේ පවත්නා තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට 30දා පස්වරුවේ දකුණු පළාත් ආණඩුකාරවරයා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.



මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙහි තිබෙන පහසුකම් ඉතාමත්ම අවමයි. රාත්‍රියට මෙහි විදුලි අලෝකයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මෙය අපිරිසුදු සහ අපිළිවෙළට සකස් වූ ස්ථානවලින් පිරීලා.  මෙහි නඩත්තු කටයුතු නිසි ලෙස සිදු නොවන බව ඉතාමත්ම පැහැදිලියි. මීට පෙර ඉතාමත්ම හොඳට සකස් කරලා තිබුණු මංතීරු මේ වන විට ගරා වැටිලා. ඒවා කඩා බිඳිලා ජනතාවට ගමන් කළ නොහැකි තත්වයට පත් වෙලා, කොටුව තුළ තියෙන පොදු වැසිකිළි පද්ධතිය වසා දමලා.

මෙම ස්ථානයට පහසුකම් සලසන්න ගාල්ල මහ නගර සභාවටත් දකුණු පළාත් සභචටත් හැකියාව තිබෙනවා. නමුත් අවසනාවකට මේ කටයුතු කිරීමේ පූර්ණ බලය පැවරිලා තියෙන්නේ ගාලු උරුමය පදනමටයි.  එහි අනුදැනුමක් නොමැතිව කිසිදු කටයුත්තක් මේ ප්‍රදේශවල සිදුකරන්න බැහැ, ගාල්ල මහ නගර සභාවත් ගාලු උරුමයත් අතර සම්බන්ධීකරණයක් නැහැ. ගාලු උරුමය පදනමට සාමාජිකයන් පත් කරන්නේ නැති වීමත් ගැටලුවක්. ගාලු කොටුව නරඹන්න එන ජනතාවට පහසුකම් සපයන්න සම්පත් අවශ්‍යයි. ඒ සම්පත් අපි ලබා දෙන්න සුදානම්. නමුත් ඒ සම්පත් ලබාගැනීම,  කළමනාකරණය කිරීම ආදියෙහි අර්බුදයක් තිබෙනවා.

-රසික සෙනවිරත්න-