තම මස්සිනා පැදවූ යතුරුපැදියෙන් පසුගිය සෙනසුරාදා (19දා) සවස 2.30ට පමණ තම අට හැවිරිදි දියණිය උපකාරක පන්තියකට ගෙන යමින් සිටිි මවක සහ එම දියණිය ජාඇල තුඩැල්ල කුඩහකපොල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ඔවුන් ගමන් ගත් යතුරු පැදිය හලාවත -කොළඹ ශීඝ‍්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇත. බරපතළ තුවාල ලැබූ ඔවුන් ජාඇල රෝහලට ගෙනයමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර
යතුරුපැදිය පදවාගෙන ගිය
මරණකාරියගේ මස්සිනාද බරපතළ තුවාල සහිතව ප‍්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව ජා ඇල පොලිසිය පවසයි.

 මෙසේ මියගොස් ඇත්තේ ජාඇල දඬුගම පදිංචිව සිටි 38 හැවිරිදි ලියනගේ සුමාලි සිලාසිනි සහ අට හැවිරිදි ආර්. බී. චංචලා සමුධ්‍යා නමැති ඇගේ දියණියත්, ජාඇල දඬුගම පදිංචිව සිටි 47 හැවිරිදි සුසන්ත ප‍්‍රනාන්දු නමැති අනතුරට පත් යතුරුපැදිය පදවාගෙන ගිය පුද්ගලයාත්ය.

 මරණකාරිය විසින් ප‍්‍රමාද වී තම දියණිය උපකාරක පන්තියකට රැුගෙන යමින් සිටියදී අතරමගදී හමුවු ඇයගේ මස්සිනා එම දෙදෙනා තම යතුරුපැදියෙන් උපකාර පන්තියට රැුගෙන ගොස් ඇති අතර, තුඩැල්ල කුඩහකපොල දුම්රිය හරස් පාරේදී දුම්රිය එනු දැක දැක යතුරුපැදිය ආරක්ෂිත ගේට්ටුවක්ද නැති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීම නිසා මේ අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වු බව පොලිසිය පවසයි.

 අනතුර සිදුවූ දුම්රිය හරස් මාර්ගය ආරක්ෂිත ගේට්ටුවක් හෝ ගේට්ටුකරුවකු හෝ නොමැති මීට පෙරත් අනතුරු සිදුවූ අනාරක්ෂිත අනතුරුදායක ස්ථානයක් බව අවට ප‍්‍රදේශවාසීහු පවසති.

 ජීවිතක්ෂයට පත් මව සහ දියණිගේ මෘත ශරීර රාගම ශික්ෂණ මහරෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී. ඇම්. ඞී. සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් බණ්ඩාර (23282) සහ පොලිස් කොස්තාපල් (67338) ජයසිංහ යන නිලධාරීහු සිදු කරති