පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යාපනය චුන්නාකම් අලවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තුන්කෝටියකට අධික වටිනාකමකින් යුත් එතනෝල් ලීටර් 7500කට ආසන්න තොගය නිදහස් කරන ලෙසට 24දා යාපනය ප්‍රදේශය භාර ඉහළ පෙළේ සුරාබදු නිලධාරියකු උත්සාහ දරා ඇතැයි පොලිස් ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. විකිණීමට ඇති මත්පැන් බෝතල්වලට එතනෝල් මිශ්‍ර කරන ජාවාරමක් දීර්ඝ කාලයක් තිස්සේ යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුවන බවට ලද තොරතුරු මත මෙම වැටලීම සිදු කර තිබේ. උතුරු පළාතෙන් මෙතෙක් සොයාගත් විශාලම එතනෝල් ප්‍රමාණය මෙය වෙයි.

මෙම එතනෝල් ගබඩාව සොයාගෙන ඇත්තේද චුන්නාකම් ප්‍රදේශයේ මත්පැන් අලෙවිසල් තුනකම හිමිකරුවකුගේ මස්සිනාගේ නිවෙසක් පිහිටි ඉඩමක ලොරියක් තුළ සඟවා තිබියදී බවද පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මත්පැන්වලට එතනෝල් මිශ්‍ර කරනු ලබන්නේද එම අබලන් ලොරි රථයේ සිට බවද එම බළකාය සඳහන් කරයි. ප්ලාස්ටික් කෑන් 371ක් තුළ එතනෝල් ගබඩා කර අදාළ ලොරි රථයේ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවද එම බළකාය කියා සිටී.

එතනෝල් තොගය සමඟ මත්පැන් අලෙවිසල් තුනෙහි හිමිකරුගේ මස්සිනාද, එම අලෙවිසල් සේවකයකුද අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම ආරංචි වීමත් සමඟ යාපනය ප්‍රදේශය භාර අදාළ උසස් සුරාබදු නිලධාරියා වැටලීම සිදු කළ පොලිස් විශේෂ කාර්ය බළකා වැටලීම් කණ්ඩායමේ නිලධාරියකුට කතාකොට අත්අඩංගුවට ගත් එතනෝල් තොගය නිදහස් කරන ලෙස දන්වා ඇතැයිද ආරංචි මාර්ග කියයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැටලීම් සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර අත්අඩංගුවට ගත් එතනෝල් තොගය සහ සැකකරුවන් දෙදෙනා යාපනය සුරාබදු කාර්යාංශය වෙත ඉදිරිපත් නොකර කිලිනොච්චිය සහකාර සුරාබදු නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද ආරංචි මාර්ග පවසයි.

සැකකරුවන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට 24දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම ජාවාරමට සම්බන්ධ මත්පැන් අලෙවිසලෙහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

-චාමර අමරසුරිය-