ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සක්‍රිය දේශපාලනයට ගෙන ඒමට එම පක්ෂයේ පිරිසක් තීරණය කර ඇත. තාවකාලිකව ඒ මහතා ඉසුලූ ශ්‍රී ලනිප මහ ලේකම්
ධුරයෙන් ඉල්ලා අස්වුවත් ජනාධිපති උපදේශක තනතුරක් හොබවනු ලබයි. තමා වෙත ඉදිරි කාලයේදී යම්කිසි වගකීමක් පවරන්නේ නම් රටේ උන්නතිය සඳහා එම වගකීම් භාර ගැනීමට අකැමැත්තක් නැතැයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභිකයකු ලෙස කටයුතු කරන තමා ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීම, රටේ සමාජ, ආර්ථික සංවර්ධන කටයුතු ආදිය පිළිබඳව මේ වනවිටත් විශ්ලේෂණ කරමින් අවශ්‍ය දායකත්වය ලබාදෙමින් තමාගේ දැනුම, බුද්ධිය රට වෙනුවෙන් ලබාදෙන බවද සඳහන් කළේය.

ඕනෑම රටක සමාජ, ආර්ථික හා සංස්කෘතික කටයුතු ඇතුළු විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළද එම කටයුතු පිළිබඳව ප්‍රායෝගිකව ජනතාවට ඒත්තු ගැන්වීම අත්‍යවශ්‍ය වන බවත් එම නිර්මාණ කාර්යයේ දැනටමත් තමන් නිරතව සිටින බවත් මහාචාර්යවරයා පැවැසීය. පක්ෂය ඉදිරියේදී ගන්නා තීරණ මත විචාරශීලීව සලකා බලා තීරණයක් ගන්නා බවත් එම තීරණය පවතින තත්ත්වයන් මත සිදුවන බවත් මහාචාර්යවරයා කීය.


-ශිරාන් රණසිංහ-