ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ භාර්යාවන් පසුගිය දිනවල ඇතිකරගත් ප‍්‍රශ්න හේතුවෙන් කරුණාකර බිරිඳ ගෙදර තබා ඇවිත් පිට්ටනියේ තරග කරන මෙන් ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (09) කී‍්‍රඩා අමාත්‍යාංශයේදී පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩා අමාත්‍යංශ
නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිල නියෝජිතයකුද සිටින අවස්ථාවකදී වීම විශේෂත්වයකි.

''සියලූ දෙනාට දකින්න පුළුවන් වුණා වගේම මමත් දැක්කා පසුගිය දින කීපයේදීම ක‍්‍රීඩකයින්ගේ භාර්යාවන් ගැටලුවක් ඇති කරගෙන තියෙන හැටි. මම හැමදෙනාගෙන්ම ඉල්ලන්නෙ බිරිඳ ගෙදර තියලා ඇවිල්ලා පිට්ටනියේ ක‍්‍රිකට් ගහන්න කියලා.

ඒ තත්වයට අපි වැටෙන්න හොඳ නැහැ. ඒක හරි ශෝචනීයයි. අපි ලැජ්ජයි ඒ දේවල් දකිද්දි. මේක හංගන්න දෙයක් නෑ. එහෙම වෙනකොට ලංකාව ගැන ලෝකය දකින්නේ මහ පිස්සු රටක් විදිහට. ප‍්‍රශ්න ඇති. ඒවා ගෙදර තියලා එන්න. හැබැයි ක‍්‍රීඩාංගණයේදී කණ්ඩායමක් විදිහට ක‍්‍රීඩා කරන්න.

තනියම සෙල්ලම් කරලා අපිට කවදාවත් ජයග‍්‍රහණ ලැබෙන්නේ නැහැ.''
යැයි ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසීය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉදිරියේදී අංක එකට ගෙන එන බවත් ශක්තිමත් දෙවැනි කොටසේ තරගාවලියක් පැවැත්වීමට තේරීම් කමිටුවට උපදෙස් දී ඇති බවත් හැමදාම ගහන ක‍්‍රීඩකයන් වෙනුවට වෙනත් දක්ෂ ක‍්‍රීඩකයන්ට එමගින් අවස්ථාව හිමිවිය යුතු බවත් ක‍්‍රීඩා ඇමැතිවරයා පවසයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ඇතුළු එහි නියෝජිතයන්ද පැමිණි සිටි අවස්ථාවේදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

''ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයිති කාටද? ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයිති ක‍්‍රීඩා ඇමැතිවරයාටවත්, ක‍්‍රීඩා නිලධාරීන්ටවත්, ඈෂ්ලි ද සිල්වා මහතාටවත් නෙමෙයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයිති ශ‍්‍රී ලංකාවේ සියලූ දෙනාටයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිරිසිදු කරන්න ඕන අපි සියලූ දෙනාම එකතු වෙලා. අද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ගැන විශාල කතා බහක් ඇති වෙලා තියෙනවා. ක‍්‍රිකට් ගහන්න නම් ජීවිතේ හොඳම කාලේ පිට්ටනිවල අව්වේ කර වෙන්න ඕනේ. දවස් දෙක තුනක් නෙවෙයි. අවුරුදු 13 න් පහළ ඉඳන් පුහුණුවීගෙන එන්නේ. ජීවිතේම ක‍්‍රිකට් ගෙන ඉන්නෙ. බොහෝ වෙලාවල සාමාන්‍ය පෙළ විභාගය පවා සමත් වීමට අපහසු වෙනවා. උසස් පෙළ ගොඩදාගන්න ගොඩාක් අපහසු වෙනවා. පිට්ටනිවලම ඉන්න වෙන නිසා.''

ජාතික කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග ඇතුළු ක‍්‍රීඩකයන්ද ඇමැතිවරයාගේ කතාවට සවන් දුන් අතර එහිදී ඔවුන් දන්නා කරුණු අයි.සී.සී.ය ලබාදී ඇති සහන කාලය තුළදී ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියේය.

''පසුගිය කාල වකවානුවලදී  ප‍්‍රශ්න කීපයක් මේ ක‍්‍රිකට්

ක‍්‍රීඩාවට රිංගලා තියෙනවා කියලා පැහැදිලිව පේනවා. ක‍්‍රිකට් වලින් අසාධාරණකම් වෙනවානම් මම ඒ වෙනුවෙන් විශාල සැලකිල්ලක් දක්වනවා. ක‍්‍රීඩකයකුට ලැබෙන මුදල කීයද, දෙවැනි කොටසේ ගහන ක‍්‍රීඩකයකුට ලැබෙන ගාන කීයද, කොන්ත‍්‍රාත් සම්බන්ධයෙන් මොකද වෙන්නේ කියලා මම අවධානයෙන් ඉන්නෙ.

දැන් අපිට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් විශාල චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. මම අමාත්‍යාංශය භාර අරගෙන මුලින්ම ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හමුවේදී මට කිව්වේ ක‍්‍රිකට් වලින් දූෂිතම රට විදියට ශ‍්‍රී ලංකාව දකිනවා කියලා. ක‍්‍රිකට්වලට ආදරේ කරන මට ඒක අහපුවාම හදවතට ලොකු දුකක් දැනුනා. සිම්බාබ්වේ රටටත් වඩා අපි නරකයි කිව්වා.

අපිට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් සති දෙකක සහන කාලයක් ලබාදුන්නා ඒ සති දෙක ඇතුළත ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් අපේ රටේ පවත්වාගෙන යනවා. ක‍්‍රිකට් සම්බන්ධ දූෂණ දන්න ඕනම කෙනෙකුට ගිහින් ඒ කාර්යාලයට භාර දෙන්න පුළුවන්.  තොරතුරු ලබාදෙන සියලූ දෙනාවම රැක බලා ගැනීම මගේ වගකීම. මම ඒ අයට ආරක්ෂාව ලබාදෙනවා. දූෂණ සහ වංචා සම්බන්ධව සකස් කර ඇති නීතිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණහම මාර්තු වෙනකොට පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා. එතනදි වරදකරුවන් වන අයට වසර පහක සිර දඬුවමක් හෝ විශාල මුදලක් දඩ වශයෙන් ගෙවන්න සිදුවෙනවා.''

අසේල විතාන