සිය බිරිය වයසින් බාල අවිවාහක තරුණයකු සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන යනවා යැයි කනස්සල්ලට පත් පුද්ගලයකු බිරියගේ දිගු වරලස කපා දමා ඇතැයි කියන සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ
ග්‍රාමයකින් වාර්තා වේ. මෙලෙස සිය බිරියගේ දිගු කොණ්ඩය කතුරකින් කපා දමා ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක පදිංචි 32 හැවිරිදි එක්දරු පියෙකි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

32 හැවිරිදි එක් දරු පියා ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක අරක්කැමියකු ලෙස කාලයක සිට සේවය
කරන අතර මෙම අරක්කැමියාට මීට වසර 7කට පමණ ඉහතදී මවගේ වැඩිමහල් සහෝදරයා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණියක් යෝජනාවකට අනුව දෙපාර්ශ්වයේ කැමැත්ත පරිදි 2014 වර්ෂයේ ජනවාරි මස දිනක විවාහ මංගල්‍යය කර අරක්කැමියාගේ කෑගල්ලේ පිහිටි නිවෙසට මනාලිය කැන්දාගෙන පැමිණ ඇත.

පසුව අරක්කැමියා සිය මවට හා පියාට බිරිය භාර දී ගාල්ලේ පිහිටි හෝටලයේ සේවයට යමින් එමින් සිට ඇත. මහගෙදර නිවසේ පිටත පිහිටි කාමරයක මොවුන් දෙදෙනා පදිංචිව සිටින අතර අරක්කැමියා මසකට වරක් නිවාඩු ලබා
නිවෙසට පැමිණෙමින් සිටියි. දැනට ඔවුන්ට අවුරුදු 4ක දියණියක්ද සිටියි. මෙසේ සිටියදී අරක්කැමියාගේ මව මීට මාස 5කට පමණ ඉහතදී සිය ලේලියගේ අනියම් සම්බන්ධතාවක් අතටම හසු වීමෙන් පසු ඇය නැන්දම්මාගෙන් බැගෑපත්ව ඉල්ලා සිට ඇත්තේ සිය පුතා සමඟ කිසිම දෙයක් ප්‍රකාශ නොකරන ලෙසත්ය. එහෙත් මව සිය පුතා නිවාඩු පැමිණ ආ දිනකදී සිද්ධිය සම්බන්ධයෙන් ඔහු දැනුවත් කර තිබිණි.

සිය මවගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් සිටි අරක්කැමියා ඒ පිළිබඳව මීට මාස 3කට පමණ ඉහතදී සිය බිරියගෙන් ද විමසීමක් කර ඇත. බිරිය එම අවස්ථාවේදී සැමියාට ප්‍රකාශ කර ඇත්තේ බොරු චෝදනා තමාට එල්ල කළේ කවුරුන් දැයි විමසීමක් කර ඇත. එහෙත් තම මව කිසිම දවසක
බොරු නොකියන බව දැනගත් පුතා යළී රැකියාවට ගොස් නිවසට යැමට ඒමට පටන් ගත්තේය.

අරක්කැමියා මීට පෙර නිවෙසට පැමිණෙන අවස්ථාවේදී බිරියට අවශ්‍ය කෑම බීම සහ දරුවාට අවශ්‍ය කෑම බීමද රැගෙන නිවෙසට පැමිණෙන දිනයද කියා සිටියි.  එහෙත් ඉකුත් 17 වැනිදා රාත්‍රියේ බිරියට පෙර කිසිම දැනුම් දීමකින් තොරව ගාල්ලේ සිට කෑගල්ල නිවස බලා පැමිණෙන්නට පිටත් වී ඇත. රාත්‍රී 9ට කෑගල්ල නගරයට පැමිණ ඇති අරක්කැමියා ත්‍රිරෝද රථයකින් සිය නිවෙසට කිලෝමීටරයක් පමණ දුර තිබියදී බැස පයින් නිවෙස වෙත යමට තීරණය කළේය. ඒ වනවිට රාත්‍රි 10ත් පසු වී හමාරය. අරක්කැමියාගේ මහගෙදර නිවෙසේ පිටත කාමරයේ කිසිම එළියක් නොදැක අරක්කැමියා විනාඩි 30ක් පමණ නිවෙසේ මිදුලේ පසෙකට වී සිටින්නට විය.

පසුව අරක්කැමියා කාමරයට ගොස් දොරට තට්ටු කර බිරියට නම කියා කතා කළේය. විනාඩි කිහිපයකින් දොර විවෘත කළ බිරිය දොර විවෘත කරනවාත් සමඟම අරක්කැමියා තල්ලු කරගෙන පුද්ගලයෙක් දිව ගොස් ඇත.එම අවස්ථාවේ අරක්කැමියා නිවසේ පඩිපෙළකින් පෙරළි ගොස් ඇති අතර පසුව ඔහු නිවසට ගොස් බිරියට පහරවල් කිහිපයක් එල්ල කර නිවසේ තිබු කතුරෙන් ඇගේ දිගු වරලස මුලින් කපා දමා ඇති බවද වාර්තා වේ.

-චමින්ද ජයලත්-