ඇල්පිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අතවරයක් කරන ලදැයි එම රෝහලේ සේවකයකු ඇල්පිටිය පොලිසිය මඟින් පෙරේදා (09දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ (10දා) ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා වෙත
ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායකයකු ලෙස සේවය කරන ඌරන්වල, ඇල්ල, ඇල්පිටිය ලිපිනයේ පදිංචි ගුරුසිංහ නිමල් ධර්මවර්ධන (40) අයෙකි.

මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ඇල්පිටිය
ප්‍රදේශයේ පාසලක 09 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙකි. ඇල්පිටිය මූලික රෝහලේ 02 වාට්ටුව භාර වෛද්‍ය නිලධාරිවරයා විසින් ඇල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ලිංගික අතවරයට ලක්ව ඇති සිසුවා උණ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ලිංගික අතවරයට ලක්ව ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.

පෙරේදා (09දා) රාත්‍රි 12.00ත් අලුයම 12.30ත් අතර සිසුවා මුත්‍රා කිරීම සඳහා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ වැසිකිළියට ගිය අවස්ථාවේදී සැකකරු විසින් සිසුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බවද ඇල්පිටිය පොලිසිය කියයි. සිද්ධිය සැලවීමත් සමඟ ඊට අදාළව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා සිසුවා තවදුරටත් රෝහලේ නේවාසිකව තැබීමටද ඇල්පිටිය පොලිසිය විසින් කටයුතු කර ඇත.


බලපිටිය - දම්සාරී ලියනගේ