ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළදී අවධි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර දෙදෙනකුට තුවාල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එවකට බනිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක
නිලධාරියෙකුට එරෙහිව නීතිපති උපදෙස් ගෙන නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කොළඹ අපරාධ  කොට්ඨාසයට ඊයේ (03) නියෝග කළාය.

මූලික මරණ පරික්ෂණ සාක්‍ෂිවලට අනුව මෙම සැකකරු වරදක් සිදුකර ඇති බවට සාධාරණ සැකයක් අධිකරණයට ඇතිවන බවත්,  සැකකරු පෞද්ගලික ආරක්ෂාවේ අයිතියට ඔබ්බෙන් ක්‍රියාකර ඇති බව අනාවරණය වන බවත් මරණ පරීක්ෂණ නියෝගය ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඒ අනුව සැකකරු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 හෝ 297  යන වගන්තිවලට අදාළ වැරැදි සිදුකර ඇත්දැයි නීතිපතිවරයාගේ  උපදෙස් ලබා ඔහුට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරන ලෙසට
මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

 මෙම සිද්ධියට අදාළ මූලික මරණ පරික්ෂණ
නියෝගය ඊයේ  (03) ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එය නියම කර තිබිණි.

මෙම සිද්ධියේ සැකකරු වන ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් කටුපිටියේ අරුණ ශ්‍රී නන්දන සිල්වා බන්ධනාගාරයෙන් ඊයේ (03) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියේය.

සැකකාර පොලිස් නිලධාරියා මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් වෙඩි නොතබන ලෙස කීපවරක්ම කියා සිටියදී බව සාක්ෂිවලින් අනාවරණය වන බව ද මහස්ත්‍රාත්වරිය සිය නියෝගයේ සඳහන් කළාය.

 ඒ අවස්ථාවේදී සැකකරුට පහර දිමක් සිදුවී තිබුණද අනෙක් නිලධාරින්ගේ ආරක්ෂාව ලබා ගැනීමට හැකියාව තිබියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද, වරක් නොව දෙවරක්ම සැකකරු වෙඩි තබා ඇති බව ද නියෝගයේ සඳහන් වෙයි.

 සැකකරුට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය උදෙසා ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබුණද, ඉදිරිපත් වූ සාක්ෂි අනුව සැකකරු එම අයිතියට ඔබ්බෙන් ක්‍රියාකර ඇති ආකාරයක් නිරික්ෂණය වන බවත්, ආරක්ෂාවට නම් වෙඩි තැබිය යුත්තේ පුද්ගලයකුගේ දණහිසින් පහළට මිස මරණයට පත්කිරිමට නොවන
බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම සැකකරු වරදක් සිදුකර ඇති බවට සාධාරණ සැකයක් අධිකරණයට ඇතිවි ඇති බැවින් නීතිපති උපදෙස් ලබාගෙන සැකකරුට එරෙහිව නඩු පැවරිමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

සැකකරු ලබන 11 වැනිදා තෙක් තවදුරත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අධිකරණය, එදින තෙක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණය  කල් තැබීය.

මෙම මරණ පරීක්ෂණයට අදාළ මූලික සාක්ෂි 13ක් ඉකුත් 20 වැනිදා වනවිට අවසන් කළ අධිකරණය මරණ පරීක්ෂණයේ නියෝගය එලෙස ප්‍රකාශයට පත් කළේය. සිද්ධියට අදාළව ඉකුත්  නොවැම්බර් මස 28 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම සිද්ධියේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළට අයුතු ලෙස ඇතුළු පුද්ගලයකුට පහරදී තුවෘල සිදු කළැයි හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිමට අධිකරණය නියෝග කලේ ඉකුත් නොවැම්බර් මස 29 වැනිදාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස දිගනගේ මහතා විසිනි.