ව්‍යවස්ථාවට අනුව වැඩකරනවාද නැත්ද කියන කරුණ තිබෙන ප්‍රශ්ණය බවත් වර්තමානයේ  පවතින ගැටලුව ඉක්මනින් අවසන් කළ යුතු බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අරලිය ගහ මන්දිරයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

 “මෙතන තියෙන්නේ එක ප්‍රශ්ණයයි. ව්‍යවස්ථාව අනුව වැඩ කරනවද? නැත්ද? කියන එකයි මෙතන තියෙන ප්‍රශ්ණය. මැතිවරණ ගැන ප්‍රශ්ණයක් නෑ. ඔක්කොම කරන්න ඕන ව්‍යවස්ථාව අනුවයි. ජනතාවගේ පරමාධිපත්‍ය පිළිඅරගෙන ක්‍රියාකරන ආකාරය තියෙන්නේ ව්‍යවස්ථාවෙයි. අපිට ව්‍යවස්ථාවේ පිට යන්න බෑ. හිට්ලර් කිව්වේ ජනතාව මං එක්කයි කියලා. හිට්ලර් එහෙම කියලා තියෙන ව්‍යවස්ථාව ඉවත් කරලා රාජ්‍ය ආරක්ෂා කරන නීතියක් ගෙනාවා. හැම කෙනාම කියන්නේ ජනතාව අපි සමගයි කියලා.
මෙතන තියෙන්නේ ව්‍යවස්ථාව ගරුකරනවද නැත්ද කියන ප්‍රශ්නය විතරයි. පළමුවෙන්ම නීත්‍යානුකූල ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව තුනෙන් දෙකක් අනුමත කළොත් අපිට පුළුවන් අවුරුදු හතරහමාරකට පෙර ඡන්දයකට යන්න "

"තමන්ගේ නැකතට ඡන්දේ තියපු ආණ්ඩු අන්ත පරාජයකට ලක්වුණා.අපේ ව්‍යවස්ථාවේ අගමැතිවරයෙක් තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කෙනයි. මෙතන ඉන්නේ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන අය. අපි මේ සෙල්ලම දැන් නැවැත්විය යුතුයි. ජනතාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කරන්නයි. මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමත්, ඇමති කියලා කාඩ්බොඩ් උස්සගෙන ගිය අයටත් කියන්නේ මෙතන ඉදන් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලයි. අපි ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දිවුරුම් දීලා තියෙනවා. ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැරිනම් මෙතන ඉන්න අයිතියක් නෑ. ඒ ව්‍යවස්ථාවට පටහැනිව ඒ කාරණා වුවමනා කියන අය ව්‍යවස්ථා විරෝධීන්. පක්ෂ සියල්ලම එකඟවන දවසක අපි ඡන්ද තියමු. අපි මේ ගැන කතා කරන්නේ නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ විතරයි. අපේ අධිකරණය ස්වාධීනව කටයුතු කරනවා. නීතිය අනුව කටයුතු කරන්න. ව්‍යවස්ථාව අනුගමනය කරන්න හිට්ලර් වගේ වෙන්න එපා.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.