ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද 4 දහවල් නිකුත් කරන ලද නිවේදනය පහත පරිදිය.

මාධ්‍ය නිවේදනය

2018.12.04 දින පෙරවරුවේ සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් අතිගරු ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී
පවත්වන ලදී. එහිදී ;

“අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරන ලද අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් ගරු අභියාචනාධිකරණය විසින් 2018.12.03 දින අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත.

තවද, මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන ලෙසට, සියලුම රාජ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සේවාවන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් දැනටමත් අවශ්‍ය නියෝගයන් නිකුත් කර ඇත.”

– ජනාධිපති මාධ්‍ය අංශය