ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය මට්ටම සම්බන්ධයෙන් සොයා බලන්නැයි පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස අභියාචනාධිකරණයට ඊයේ පෙත්සමක් ඉදිරිපත් විය. නීතීඥ සිසිර
කුමාර සිරිවර්ධන මෙම පැමිණිල්ල ගොනු කර ඇත.සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වන තක්ෂිලා ජයවර්ධනගේ දැනුම්දීම මත තමන් මෙම පෙත්සම ගොනු කරන බව ඔහු කියා තිබේ.
පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මානසික රෝගී ආඥාපනත හරහා ජනාධිපති සිරිසේනගේ මානසික සෞඛ්‍ය මට්ටම යහපත්ද යන්න විමසා බැලීමට අවශ්‍ය කටයුතු

සකස්කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තිය ප්‍රකාරව මෙවැනි පෙත්සමක්  ඉදිරිපත් කරන්නට හැකියාව ඇති බව නීතීඥවරයා මාධ්‍ය ඉදිරියේ දන්වා සිටියේය.

අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරන ලෙස කිසියම් අයෙකුගේ සිහි බුද්ධිය අවුල්වීම මත සිවිල් පුරවැසියන්ට කරදරයක්වීමට හෝ ගෞරවයට හානියක් වීමට අවදානමක් ඇත්නම් ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට අවස්ථාව ඇත. ඒ අනුව සැකකාර පුද්ගලයා ගැන විමර්ශනයක් කිරීම සඳහා ඒ සම්බන්ධව අධිකරණ බල ප්‍රදේශයේ දිසා විනිසුරුවරයා වෙත දන්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව තිබේ. එහිදී පොලිස් වාර්තාව සැළකිල්ලට ගෙන අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රතිකාර, පුනරුත්ථාපනයට යොමුකිරීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට විනිසුරුවරයාට හැකියාව ඇත. ඊට අදාළ ප්‍රතිපාදන යොදාගෙන මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් මෙම පෙත්සම විභාගයට ගන්නේද නැද්ද යන්න තවම අධිකරණය දැනුම් දී නැත.