කොල්ලුපිටිය ක්ලිපර්ඩ් පටුමගේ සුබෝපභෝගි දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය චීන ජාතික කාන්තාවක සමග විශ්වවිද්‍යාල සිසුවියක හා
වියට්නාම තරුණියක අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. කොල්ලුපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව
කොල්ලුපිටිය පොලිසිය දූෂණ මර්දන අංශය සිදු කළ මෙහෙයුමකදී සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් වියට්නාම
තරුණිය සංචාරක විසා මත මීට මාස තුනකට පමණ පෙර මෙරටට පැමිණ ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

මීට පෙර ද මෙම ස්ථානයේ ගණිකා මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එහිදී ගණිකා වෘත්තියේ නියැළී සිටි තරුණියන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. චීන ජාතික යුවළ මෙම සුඛෝපභෝගි නිවස මාසිකව රුපියල් ලක්ෂ දෙකක මුදලකට කුලියට ගෙන ඇතැයි ද පොලිසිය පසයි. පොලිසිය මෙහෙයුම කරද්දී චීන ජාතිකයා නිවසේ නොසිටි බව පොලිසිය කියයි.

තරුණියක් රුපියල් පන්දහසේ සිට ඉහළ මිලකට
සේවාදායකයනට අලෙවි කර ඇති බව විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් තරුණියන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)