පදී මාස 3 කදී හදවත් සැත්කමකට මුහුණදුන් දුර්ලභ හදවත් රෝගයකින් පීඩාවිඳින ක්‍රිකට් ලෝලීයකු වන ආර්චි ශිලර් නමැති ඕස්ට්‍රේලියානු දරුවාට දැන් වයස 7 කි. ගෙවුණ අවුරුදු 7 තුළ හෘද සැත්කම් 13 කට මුහුණදුන් ඔහු ලබන ජනවාරියේ සිදුකරන සැත්කම අතිශය සංකීර්ණ එකක් වන අතර
ඔහුගේ ජීවිත අවදානමක්ද පවතින බව පැවසේ.
මෙම තත්වය තුළ ඔහුගේ එකම බලාපොරොත්තුවක් ලෙස මාධ්‍ය වෙත පවසා තිබුණ ඕස්ට්‍රේලියානු පිලේ නායකයා වීමේ සිහිනය සැබෑකිරීමට එරට බලධාරීන් ඊයේ පියවර ගත්තා. ඒ ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර මෙල්බන්හිදී ඇරඹි බොක්සිං දින ටෙස්ට් තරගයේ නාමික නායකයෙකු ලෙස ඔහුව පත් කිරීමෙනි.


ආචි ශිලර් මේ නිසා පුහුණුවීම් වලටද කන්ඩායම සමග එක්වූ අතර ඊයේ තරග ආරම්භයේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දැනට නායකත්වය හොබවන ටිම් පේන් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කාසිය වාසිය උරගා බලන්නටද ගියා.

එම අවස්ථාවේ පිටිය මැද සිට සිය අදහස් පළ කිරීමට අවස්ථාවක් උදා කරගත් මේ කුඩා දරුවා ඊයේ සිය ක්‍රීඩකයන්ට කියා සිටියේ හයේ පහරවල් එල්ල කරන්න, කඩුලු ලබාගන්න (Hit sixes and get wickets) යනුවෙනි.

‘ආචිට ඕන කළේ මුලින්ම බැට් කරන්නයි. නමුත් මං එයාට කිව්වා මට හරියටම සහතික කරන්න බෑ මුලින්ම බැට් කළොත් කණ්ඩායමට වාසිදායකද අවාසිදායකද කියලා‘ ටිම් පේන් කීවේය.

කෙසේ වෙතත් පවතින නීතිරීති අනුව ඔහුට තරග කරන්නට අවස්ථාවක් ලබාදීමට නොහැකිවූ නමුත් ඔහුගේ සිත සතුටින් තබන්නට මේ විශේෂ පිළිගැනීම හේතුවක් විය.