බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය සේවකයන්ට 2018 අවසානය තෙක් වැටුප් ප්‍රහ්නයක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (06දා)
පැවසීය. කෙසේ වෙතත් ඔහු 2019 වැටුප් ගැන සඳහන් නොකළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා මෙසේ කීය.

“රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි සහනාධාරය ලබාදීම යන කටයුතු සිදුකර ගත නොහැකිව, ණය වාරික ගෙවාගත
නොහැකිව රට නතර වී තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදී දිගින් දිගටම ප්‍රචාරණය කරගෙන යනවා. මෙය ඉතා අහිතකර තත්ත්වයක්. රටේ ජනතාව බිය වැද්දීමක්.

මේ වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා තෙක් කිසිදු වියදමක් දැරීම පිළිබඳ අබමල් රේණුවකවත් ප්‍රශ්නයක් මතුවෙන්නෑ. 2018 වර්ෂයට විසර්ජන පනත් කෙටුම්පත මගින් දෙසැම්බර් 31 වනතෙක් සියලු වියදම් අනුමත කර තිබෙනවා. ඒ අනුමත කර තිබෙන වියදම් දැරීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් මතුවෙන්නෙ නෑ. අවශ්‍යතාවක් වුවහොත් ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මාස තුනකට මුදල් ලබාගන්න පුළුවන්.

මැතිවරණ කොමිසමට අවශ්‍ය මුදල් වෙන්කර තිබෙනවා. මැතිවරණයක් නොපැවැත්වුවහොත් නව අයවැයක් ඉදිරිපත් කරනතෙක්  විදයම් පියවා ගැනීම සඳහා මෛත්‍රී - මහින්ද රජය සකස් කළ රුපියල් බිලියන 1,735ක අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ දේශපාලන අවුලට රාජ්‍ය සේවකයන් සම්බන්ධ නැහැ. රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම සාධාරණ නැහැ."