අධිකරනයේ පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධ ගැසට්ටුව විභාග වන අතරේ අද රැස්වූ පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 12 බදාදා පස්වරු 1.00 තෙක් කල් තබා තිබේ.
ඒ අනුව 7 වනදා තීන්දුව ප්‍රකාරව විසුරුවීමක් සිදුවුවහොත් නැවත රැස්වීමක් නැත.

අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වු අතර ඊට පෙර කථානායකවරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණි.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ට ආරම්භ වූ පක්ෂ නායක රැස්වීමට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබුණ ද එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින් එම රැස්වීම සඳහා සහභාගී වී තිබුනේ නොමැත.

එමෙන්ම සන්ධාන මන්ත්‍රීවරුන් අද දිනයේ ද පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කර තිබුණි.
අද දින පාර්ලිමේන්තුවේදී ජනපතිවරයා අගමැති ධූරය හා ඇමති මඩුල්ල තමා සන්තකයේ තබාගැනීම 19 සංශෝධනය අනුව ව්‍යවස්ථා විරෝධී බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පෙන්වා දුන්නේය. එම පක්ෂයේම නලින්ද ජයතිස්ස කියා සිටියේ ජනපතිවරයා සායම් බාල්දියට වැටුණ නරියෙකුගේ තත්වයට දැන් පත්ව ඇති බවකි.
මේ අතර අජිත් පෙරේරා හා මරික්කාර් මන්ත්‍රීවරුන් දන්වා සිටියේ අධිකරණ  නියෝගය ලැබුණ පසුත් අගමැති ලෙස මහින්ද රාජපක්ෂ හඳුන්වා දෙන්නට මෙන්ම පොදු ජන පෙරමුනේ රැස්වීම් ආවරණයට රජයේ ගුවන්විදුලිය හා ස්වාධීන රූපවාහිනිය කටයුතු කර ඇති බවයි.
මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කරු ජයසූරිය කතානායකවරයාට සුබපතමින් දන්වා සිටියේ කතානායක ගත් තීන්දුව අධිකරණයෙන්ද සනාථ කර අගමැතිවරයාට අතුරු තහනමක් ලැබී ඇති බවයි. 225 කියන දෙය ගණන් ගන්නා නැති බව ජනපතිවරයෙකු කියයි නම් එය ඉතා බරපතල බවත් ඉතිහාසයේ මෙවැනි දෙයක් සිදුව නැති බවත් කීය.

මයන්ත දිසානායක මන්ත්‍රීවරයා ජාතික රූපවාහිනී සභාපතිවරයා ඇතුළු අය පාර්ලිමේන්තුවට ගෙන්වා අවවාද කරන ලෙද දන්වා සිටියේය.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තවම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ නම තිබෙන බැවින් එය ඉවත් කරන ලෙස හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා දන්වා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා දන්වා සිටියෙ 2010 ජනපතිවරනයේ පැවති අක්‍රමිකතා හා තමාට ජනපති ධූරය අහිමිකරවීම සම්බන්ධ නැවත සැක මතුව ඇති බවයි. ඒ සම්බන්ද වාර්තාවක්ද  ඔහු කියවූ අතර බලහත්කාරයෙන් පාලන බලය ලබාගන්නට උත්සාහ දරන පිරිසක් බලය ඒ කාලයේත් මංකොල්ල කා ඇති බව තහවුරු වන බව පෙන්වා දුන්නේය.