රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ නියම මිනීමරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක  මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (29) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනා මිනීමැරීමේ චෝදනාවට සම්බන්ධ අය නොවූ බැවින් සිද්ධියට අදාළ නියම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා අනවශ්‍ය ප්‍රමාදයක් ඇති නොකරන ලෙසත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරත් නියම කළේය.

 මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (29) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදි මෙසේ නියෝග නිකුත් කෙරිණි. ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කර
කුමන්ත්‍රණය කළැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැරුණ බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති පී.එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චමිපික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන මහත්වරු ඊයේ අධිකරණයේ පෙනී  සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී  ඉන්දික ලොකුහෙට්ටි, මිනීමැරුම් විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත්  මුණසිංහ, උපපොලිස් පරික්ෂක රත්නප්‍රිය මහතා ඇතුළු
නිලධාරින් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියේ සැකකරුවන් පිළිබඳව ඉදිරිපත් වූ සාක්ෂි සහ ගත හැකි පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉකුත් 23 වැනි ලිපියක් මගින් දැනුම් දෙනු ලැබුවා. මෙය රිය අනතුරක් ලෙසයි මුල් වරට වාරිතාවන්නේ. වසර ගණනාවකට පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූව මෙහි පරීක්ෂණ බාරගැනිමෙන් පසුව එය මිනීමැරුමක්  ලෙස අනාවරණය කර ගනු ලැබුවා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 1200ක ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. දුරකතන ඇමතුම් ලක්ෂය 22 ක විශ්ලේෂණ  ලබාගෙන තිබෙනවා. මේ විමර්ශනයේදී ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන්  කරුණු අනාවරණය වුණා. එහි රස පරික්ෂක වාර්තාව මෙතෙක් ලැබී නැහැ.
ඊට අමතර අධිකරණ නියෝග ප්‍රකාරව මරණකරුගේ ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යා තාක්ෂණ පරික්ෂණාගාරය වෙත යොමුකර වාර්තා ලබා ගනු ලැබුවා. ඒ අනුව පිටු 172ක වාර්තාවක් ලැබී තිඛෙනවා.

මරණුකරු; අවසන් වරට රැඳී සිටි ස්ථානය වූ හැව්ලොක් පාර ලාෆ් ආයතය අසල යම් යම් සී  සී ටී වී දර්ශන විමර්ශනයට භාජනයවී තීබනවා. එම දර්ශන පැහැදිලිව හඳුනාගැනීම සම්බන්ධයෙන් පරිගණක හදිසි තොරතුරු සංසදය වෙත යොමු කරනු ලැබුවා. එම සී සී ටී වී දර්ශනවල මරණකරුගේ වාහනය පිටුපසින් තවත් වාහනයක් ලුහුබඳින දර්ශනයක් තිබෙනවා. එය පැහැදිලිව හඳුනාගැනීමටයි එම සංසදය වෙත යොමු කර ඇත්තේ එමෙන්ම අදාළ දිනයේදී අපරාධය සිදු වූ ස්ථානයේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අප වෙත ලබා දෙන ලෙස අප නාසා ආයතනයෙන් ඉල්ලා තිබෙනවා. එමගින් අපරාධකරුවන් නිශ්චිතව හඳුනාගැනීමට කටයුතු කරනවා.

දෙවැනි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු මත පැහැදිලි වෙනවා තාම මේ නඩුවේ සැකකරුවකු අනාවරණය කරගෙන නැති බව. මේ විමර්ශනයට අවුරුදු හය හමාරක් ගත වෙලා. ඒත් තවම සැකකරුවකු නැහැ.

අධිකරණය දැනට මෙහි සැකකරුවන් ලෙස නම් කර ඇති පුද්ගලයන්ට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 198 සහ 215 වගන්ති ප්‍රකාරව චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන් කියා නීතිපතිවරයා ලිපියක් මහින් දන්වා එවා තිබෙනවා. ඒ, සාක්ෂි සැහවීම සහ අසත්‍ය ලේඛන සැකසීම සම්බන්ධයෙනුයි. මේ අනුව දැනට ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබෙනවා. තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්න අවශ්‍ය නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 යටතේ කාලය ලබාදෙන්න පුළුවන්.

 මීට අමතරව සැකකරුවන් තිදෙනාම මිනී මැරිමට කුමන්ත්‍රණය කළ බවට සාක්ෂි සඳහන් වී නැහැ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ නියෝග ලබා දෙමින් නඩුව යළි කැඳවීම ලබන පෙබරවාරි මස 28 වැනිදාට කල් තැබිය. 2012 වර්ෂයේ මැයි මස 17 වැනි දින නාරාහේන්පිට පොලිස් වසමේ පාරක් පාරේ ශාලිකා ක්‍රීඩාංගණය අසල මාර්ගයේදි රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩින් කාර් රථයක් තුළ සැක සහිත ලෙස පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් රහස් පොලීසිය වෙත පැමිණිලි කර තිබුණේ අංක 20, මුරුගන් පෙදෙස, කොළඹ 06 පදිංචි අයේෂා තාජුඩීන් විසිනි.

-නිමන්ති රණසිංහ-