පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් පත් කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡා තුනක් අද (23දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට
නියමිතව ඇති අතර ඊට පෙර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේත්තු කණ්ඩායම් රැස්වීම් දෙකක්, පක්ෂ නායක හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සාකච්ඡාවලදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජීකයන් පත් කිරීම ගැන එකඟතාවකට පැමිණිමට නොහැකි වුවහොත් සභාව තුළදී
යළිත් වතාවක් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ. අදාළ කාරක සභාව සඳහා සාමාජිකයන් 12 දෙනකු පත් කිරීමට නියමිතව ඇති අතර ඉන් සාමාජිකයන් 7 දෙනකුගේ නම් ආණ්ඩු පක්ෂය විසින් කථානායකවරයාට ලබාදී ඇත. ජනතා විමුක්ති පෙරමුණද සාමාජිකයන් දෙදෙනකුගේ නම් යවා ඇති අතර තවත් නම් කිරීමට නියමිතව ඇත්තේ සාමාජිකයන් තිදෙනකු පමණි.

යම් ලෙසකින් මෙම කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව  වැඩි කිරීමට තීරණය කළහොත් සහ එවන ලද නම් සියල්ලම කථානායකවරයා පිළිගතහොත් එක්සත් ජාතික පෙරමුණට සහ දෙමළ ජාතික සන්ධානයට ඉතිරිව ඇත්තේ සාමාජිකයන් තිදෙනකු පමණි. මේ පිළිබඳ කතානායකවරයා විසින් අවසන් එකඟතාවක් තවමත් ලබාදී නොමැති අතර අද (23දා) පාර්ලිමේන්තූව ආරම්භයේදීම එකී නම් සභාවට දැනුම් දීමට නියමිතව ඇති බවද වාර්තා වේ.  මේ අතර ආණ්ඩුවේ කටයුතු කරගෙන යාම සඳහා අදාළ කාරක සභාවල බහුතර බලය ආණ්ඩු පක්ෂයට හිමි විය යුතු බවද ආණ්ඩුව මේ වනවිටත් ප්‍රකාශ කොට තිබේ.

මීට පෙර අවස්ථා දෙකකදීද බහුතරයක් නොමැති ආණ්ඩු සඳහාද, හිටපු කථානායකවරුන් වන වි.ජ.මු. ලොකුබණ්ඩාර සහ චමල් රාජපක්ෂ මහත්වරුන් ඉහත කාරක සභාවල බහුතර බලය ආණ්ඩු පක්ෂයට ලබාදෙමින් පූර්වාදර්ශ ලබාදී තිබීම ගැනද ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇත. මේ අතර අද දිනයේද ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට අසුන් පැනවීම සිදු කර නොමැති අතර කථානායකවරයාගේ දැනුම් දීම පරිදි ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ට අදාළ පාර්ශ්වයේ ඕනෑම ආසනයක අසුන්ගත හැකි බවද වේත්‍රධාරී කාර්යාල ආරංචි මාර්ග  කියා සිටී.

-රුචිර දිලාන් මධුසංඛ-