දියණියගේ පෙම්වතා විසින් පහරදී ළිඳකට දමා ඝාතනය කළ හැට හැවිරිදි මවකගේ මළ සිරුරක් 16 දින
රාත්‍රියේ ගල්කිරියාගම පොලිසිය සොයාගෙන තිබේ.  ගල්කිරියාගම බෝගස්වැව දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි එස්.එම්. චන්ද්‍රා නාලනී (60) තිදරු මවගේ මළ සිරුර නිවසේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි අනාරක්‍ෂිත ළිඳක තිබී මෙසේ සොයාගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි. සිය සැමියා සමඟ තනිව නිවෙසේ සිටියදී 16දා පස්වරුවේ මෙම කාත්තාව නිවෙස පිටුපස ළිඳ ආසන්නයේ දිය නමින් සිටි බවත් පසුව එම ස්ථානයේ දිය නාමින් සිටී තම බීරිය නොමැති නිසා සැමියා බිරියව සෙවීම

ආරම්භ කොට ඇතැයි පොලිසිය කියයි.  ඒ අනුව අසල්වැසියන්ගේ සහාය ඇතිව බිරිය සොයා බලද්දී ළිඳේ සිටියදී හමුවූ බව සැමියා පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් ගල්කිරියාගම පොලිස් නිලධාරීන් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම මියගිය කාත්තාවගේ බාල දියණිය යුද හමුදාවෙන් ඉවත් වූ අයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබුණු බවත් එම ප්‍රේම සම්බන්ධතාව මියගිය කාත්තාව දැඩි ලෙස විරුද්ධව  සිටි බවය.  ඒ අනුව දියණිය වෙනත් ප්‍රදේශයක  සඟවා තිබුණු බවද පොලිස් පරික්ෂණ  වලදී හෙළිවී තිබේ. දින ගණනාවකට ඉහතදී දියණිය සමඟ සම්බන්ධකම් පැවැත්වූ තරුණයා මෙම නිවෙසට පැමිණ ගල් මුල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවද පොලිසිය කියයි.

කෙසේ වෙතත් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ එම තරුණයා අත්අඩංගුවට ගැනීමට

පොලිසිය එම නිවෙසට ගියද ඔහු ප්‍රදේශයෙන් පලාගොස් තිබිණි. පසුව 17දා පස්වරුව වන විට සිය පෙම්වතියන්ගේ මව ඝාතනය කිරීමේ චෝදනාව යටතේ යුද හමුදාවෙන් ඉවත්වූ තරුණයා සැක පිට 17දා සවස ගල්කිරියාගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ තරුණයා ගල්කිරියාගම රණව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් සිද්ධියෙන් පසු ඔහු කැකිරාව පොලිස් බල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. නිවෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දියණියද එම ප්‍රේම සබඳතාව අතහැර දැමු බවද ඥාතීහු පවසති. මියගිය කාන්තාව සහ සැමියා කුලී වැඩක් සහ ගොවිතැනක් කරමින් ජීවත් වන අය බව පොලිසිය කියයි.

වැඩිමහල්  දියණිය විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින බවද එමෙන්ම මියගිය අයගේ පිරිමි දරුවා වෙනත් ප්‍රදේශයක රැකියාවක නිරතව සිටින බවත් ප්‍රේම සම්බන්ධතාවට උරණ වීම හේතුවෙන් බාල දියණිය පියාගේ ඥාති නිවෙසක නවත්වා සිටි බවද නිවෙසේ මෙම කාන්තාව හා සැමියා පමණක් තනිව ජීවත් වූ බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මියගිය කාන්තාවගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදී 18දා පැවැත්වීමට නියමිත බව පොලිසිය පැවැසීය.

-කේ.කේ.ආරියදාස-