ඉදිරීයේදී පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පවසයි.මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් මහානාම පවසා ඇත්තේ එම වාර්තා සම්බන්ධයෙන්
තමන් මවිතයට පත් වූ
බවත් කිසිදු අයුරක දේශපාලන කටයුත්තක් සඳහා තමන් සහභාගි වී නොමැති බවයි.

තවද එම ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත් වන බවත් පවසන මහානාම “එම අසත්‍ය පුවත් දැකීමෙන් මා විස්මයට පත්වුණා වගේම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන එම පුවතෙහි කිසිදු සත්‍යතාවක් නැහැ. එමෙන්ම එළැඹෙන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ කිසිදු අපේක්ෂාවක් මා හට නොමැති අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එවැනි අසත්‍ය පුවත් පැතිරවීම සම්බන්ධයෙන් මා දැඩි කනස්සල්ලට පත් වෙනවා.

එමෙන්ම වගකිවයුතු පුරවැසියකු ලෙසින් මම මගේ උපරීමයෙන් සමාජීය කාර්යයන් සඳහා එක්වනවා. දේශපාලන උපක්‍රම මගින් කිසිවෙක්, තවත් පුද්ගලයකුගේ ජීවිතය වෙනස් කිරීම සඳහා උත්සාහ නොකළ යුතුයි. තවද මා අවධාරණය කිරීමට කැමතියි මා හට ජීවිතයේ වෙනත් වටිනාකම් සහ මූලධර්ම තිබෙනචා. එම නිසා සියලු සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන්නන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මාගේ කීර්තිනාමයට හානිකර වැරැදි තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසයි.” යනුවෙන් එම නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇත