රට අද පත්ව ඇති සමස්ත අරාජීකත්වය සහ අස්ථාවරභාවයට මුළුමනින්ම වගකිවයුත් ජනාධිපතිවරයා වන අතර, තවදුරටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරිමෙන් විසඳුම්පතක් ලබාගත නොහැකි යැයි ඡනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත.

සර්පාක්ෂික සාකච්ඡාවකට සහභාහිවීම ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණ  නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ මෙසේ ද සඳහන් වේ.

ඔබගේ ලේකම් විසින් එවන ලද 2013.11.17 දාතම සහිත ලිපියෙන් ඔබ සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස අප පක්ෂයට ආරාධනා කරනු ලැබ තිබේ. කෙසේ වුවද එම ආරාධනය පිළිගනු ලැබීමට පෙරාතුව පහත කරුණු ඔබගේ අවධානයට ලක්විය යුතු යැයි අපි සිතමු.

ඔබගේ සාකච්ඡාවේ අපේක්ෂාව වි තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳවයි. එහෙත් අපගේ නිගමනය වන්නේ පාර්ලිමේන්තුවේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්තවය ඔබගේ කුමන්ත්‍රණකාරී දේශපාලන වුවමනා වෙනුවෙන් ඇතිකරන ලද ක්‍රියාදාමය හේතුකොට ගෙන ගෙන රට තුළ මතුව තිබෙන අස්ථාවරත්වයේ පිළිබිඹුවක් බවයි. මේ වන විට රට තුළ බරපතළ

අරාජීකයක් සහ අස්ථාවරත්වයක් ගොඩනැගි ඇත. දශක හතකට වැඩි ලාංකේය දේශපාලනය තුළ මෙවැනි අස්ථාවරත්වයක් මෙතරම් කාලයක් දිගැසෙමින් ඇත්තේ පළමු වතාවටය. මෙය හුදු ඕපපාතිකව පැන නැගුණක් නොව ප්‍රධාන සිදුවීම් පහක් පදනම් කරගනිමින් නිර්මාණය වූවකි. පසුගිය ඔක්තෝබර් 26වැනි දින ඔබ විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත්‍රීවරයකු කුමන්ත්‍රණකාරී ලෙස අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබීම හා අවස්ථා ගණනාවකදී විගඩමිකාරි ලෙස කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම
පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හෙළිදරව් විම වැළැක්වීමේ අරමුණින් පාරිලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම.
 ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටුවිමේ නින්දිත ක්‍රියාවලියක් වන පාරිලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ක්‍රියාවලියකට මැදිහත්වීම. එම වෙන්දේසි ක්‍රියාවලිය අසාර්ථක වීමෙන් පසු පාරිලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.

කුමන්ත්‍රණකාරි ලෙස පිහිටුවන ලද අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදි විධිමත් ලෙස විශ්වාසභංග යෝජනා සම්මත වි තිබියදී ඊට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔබගේ කුමන්ත්‍රණකාරි දේශපාලන වුවමනාව වෙනුවෙන් කල්මැරීම.

මේ පස් වැදෑරුම් ක්‍රියාවලියේ ඔබගේ ප්‍රමුඛ දායකවිය කිසිසේත්තේ සැඟවිය නොහැකි ලෙස ජනතාව හමුවේ නිරාවරණය වී අවසන්ය.

මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ඔබ විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද පෙත්සම්වලට අතුරු තහනම් නියෝගයක් ලබාදී එම ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කොට තිබේ.

ඒ අනුව සැසිවාර අවසානයෙන් පසු පාර්ලිමේන්තුව මේ වන විට දින තුනක් කැඳවනු ලැබ ඇත. 

ආරම්භක දිනය වූ 2018 නොවැම්බර් 14 වැනි දිනම ඔබ විසින් අනීතිකව පිහිටුවන ලද ආණ්ඩුවට එරෙහිව අප විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තූවිට මන්ත්‍රීවරුන් 122කගේ බහුතරයකින් සම්මත විය.

ඒ බව එම මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතවම  කතානායකතුමා වෙත බාරදෙන ලද පෙත්සම මහින් ලිඛිතව ද සනාථ කරනු ලැබිණි. කෙසේ වුවද බහුතර මන්ත්‍රී ඉල්ලීම මත ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් අනුව (ස්ථාවර නියෝග 135) ඉදිරිපත් කරන ලද එම විශ්වාසභංග යෝජනාව, හඬ අනුව තීරණුයක් ලබාදිලමේ (181) වගන්තියේ කථානායකතුමාගේ බලතල අනුව විධිමත්ව සම්මත වූවකි. එය මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසීමට කතානායකතුමා ගන්නා ලද උත්සාහය මහින් පරාජය නියත බව දැන සිටි ආණ්ඩු පක්ෂය යැයි කියාගන්නා මන්ත්‍රී කණ්ඩායමේ බාධාකිරිම නිසා ගැනීමට සිදුවූ  තීරණයක් බව ඔබද හොඳින් දන්නවා ඇත. මෙම  තත්වය නොවැම්බර් 16 දිනහොත් එලෙසම  සිඳුවිය. ඔබගේ මන්ත්‍රී කණ්ඩායම පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් සහ නමින් ඡන්දය ලබාගැනීම වළක්වාලමින් පාර්ලිමේන්තුව තුළ වියරුවෙන් හැසිරුණ බව ඔබ හොඳින්ම දනියි.

කෙසේ නමුත් දෙවරක්ම විධිමත්ව සිදුවූ විශ්වාසභංග සම්මතය පිළිගැනීමත් නාමික අග්‍රාමාත්‍ය ධුරය අත්හැරිමත් ප්‍රතික්ෂේප කරමින් එය විධිමත්ව සිදු නොවූ බවට විවිධ බාල ගණයේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයකුට තරම් නොවන බව අපගේ විශ්වාසයයි. එසේ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරනු ලබින්නේ යැයි කියනු ලබන පාර්ලිමේන්තුවේ තෙදිනක ක්‍රියාවලිය තුළ ඇති වූ ගැටුම්කාරී පිළිකුල් සහගත තත්ත්වයට සහ ඉන් ඇතිවූ අස්ථාවර තත්වයට මුළුමනින්ම වගකිවයුතු වන්නේ ඔබය.

 ඔබගේ හිතුවක්කාරි හැසිරිම්ය. මේ අනුව රට අද වන විට පත්වී ඇති සමස්ත අරාජීකත්වය සහ අස්ථාවරභාවයේ නිර්මාතෘවරයා ඔබය. එබැවින් එය නිවැරැදි කළ හැක්කේ ද ඔබටමය. එයින් මෙපිට මෙම නිශ්චිත කරුණ පිළිබඳව ඔබ හා සාකච්ඡා කිරීමෙන් ලබාගත හැකි විසඳුමක් ඇතැයි අපි විශ්වාස නොකරමු. පාර්ලිමේන්තු නියෝජනය කරන වග කිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස අප අපට මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිම මැදිහත්වීම මේ වන විට සිදුකර අවසන්ය. දැන් ඇත්තේ ඔබගේ පාර්ශවයෙන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විමය. රට වෙනුවෙන් එම පියවර ගැනීමට ඔබට ආත්ම ශක්තියක් ඉතිරි වී ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.