රජය තෙල් මිල ඉහළ දැමීම හේතුවෙන් ත‍්‍රිරෝද රථ ගාස්තු හා පාසල් වෑන් රථ ගාස්තු ඊයේ (11 වැනිදා) සිට ඉහළ දැමීමට සංගම් දෙකක් තීරණය කර තිබේ. පාසල් වෑන් ගාස්තු ඉහළ දමන ප්‍රමාණය ගැන තවම අවසන් ථීන්දුවකට එළැඹ නැති අතර ත්‍රීරෝද රථ ගාස්තු දෙවන කිලෝමීටරය රුපියල් 10 කින් ඉහළ නංවා ඇත.

මාසයෙන් මාසයට රජය පෙට්‍රල් මිල ඉහළ දමයි නම් එම ගාස්‌තු තවදුරටත් ඉහළ දැමීමට සිදුවන බව ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා  ඊයේ පැවැසීය.
එසේම තමන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට, එම ලේකම්වරයාට හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව අද (12 වැනිදා) අල්ලස්‌ කොමිසමට පැමිණිලි කරන බවද හෙතෙම කීය.
මේ අතර තෙල් මිල ඉහළ නැංවීම නිසා පාසල් වෑන් රථ ගාස්‌තුවද ඉහළ දැමීමට තීරණය කළ බව අන්තර් දිස්‌ත්‍රික්‌ පාසල් ළමුන් ප්‍රවාහන සේවා

සංගමයේ සභාපති හරිස්‌චන්ද්‍ර පද්මසිරි මහතා  පැවසීය.
මංගල ඇමැතිවරයාගේ මෙම අත්තනෝමතික වැඩපිළිවෙල නිසා දෙමාපියන් හා පාසල් වෑන් රථ වෘත්තිකයන් අසරණ වී ඇතැයිද තෙල් මිල මාසයෙන් මාසයට ඉහළ දැමීම නිසා පාසල් වෑන් රථ පාඩු පිට දිවීමට සිදුවී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඉදිරියේදී පාසල් දරුවන්ගේ වාර විභාග, අපොස සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමට නියමිත බවත්, මෙම වෑන් රථ ගාස්‌තුව වැඩි කිරීමෙන් දෙමාපියන් අසරණ වන බවත්, මෙම ගාස්‌තු වැඩිවීම රජය භාර ගත යුතු බවත් හෙතෙම කීය.
ත්‍රිරෝද රථ ගාස්‌තුව වැඩි වීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස්‌ දැක්‌වූ සුනිල් ජයවර්ධන මහතා මෙසේ ද කියා සිටියේය.
''ඉන්ධන මිල මාසෙන් මාසයට ඉහළ යාම නිසා අපි ත්‍රිරෝද රථ ගාස්‌තුවත් වැඩි කරනවා. ඒ අනුව බස්‌නාහිර පළාතේ හා දකුණු පළාතේ දෙවැනි කිලෝමීටරය රුපියල් 10 කින් වැඩි කරනවා. අනිත් සෑම පළාතකම දෙවැනි කිලෝ මීටරය රුපියල් 80 කින් වැඩි කරනවා. මේකට වගකියන්න ඕන මංගල ඇමැතිවරයා.
මේ ඇමැතිවරයා ජනාධිපතිතුමාව, පාර්ලිමේන්තුව, රටේ මහජනතාව නොමග යවමින් මුදල් මංකොල්ල කමින් ඉන්නවා. මේ ඇමැතිවරයා මිල සූත්‍රය ගැනවත් දන්නේ නැහැ''
බස්‌ ගාස්‌තු වැඩි වන්නේ දැයි සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතාගෙන් හා ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතාගෙන් විමසූ විට කියා සිටියේ තෙල් මිල වැඩිවීමට සාපේක්‍ෂව බස්‌ ගාස්‌තු වැඩිවීමක්‌ සිදු නොවන බවය.