සැකකටයුතු අන්දමින් මියගොස් සිටි අන්තර් දිස්ත්‍රික් සමස්ත ලංකා පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේ සංගමයේ ලේකම්වරයාගේ මළ සිරුර මිනුවන්ගොඩ, බලබෝව, ඇන්තූරියම් මාවතේ මාර්ගයක තිබියදී ප්‍රදේශවාසීන්ගේ  දැනුම්දීම මත මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (2) පෙරවරුවේ සොයාගෙන තිබේ. මිනුවන්ගොඩ
නගරය අවට පාසල්වලට සිසු සිසුවියන්  ප්‍රවාහනය කළ මිනුවන්ගොඩ කුඩාගොඩ පදිංචිකරුවකු වූ 58 හැවිරිදි කිත්සිරී විජයානන්ද අමරසිංහ නමැති දෙදරු පියාගේ මළ සිරුර මෙසේ සොයාගෙන තිබේ.

මළ සිරුර තිබෙන ස්ථානය වේයන්ගොඩ පොලිසියට අයත් බවට තහවුරු වීමෙන්

අනතුරුව වැඩිදුර පරීක්‍ෂණ වේයන්ගොඩ පොලීසිය මගින් සිදු කරනු ලැබීය. මියගිය අයට අයත් පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථය මළ සිරුර තිබූ ස්ථානය ආසන්නයේ තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබූ අතර වෑන් රථය තුළ තිබී හිස් අරක්කු භාගය බෝතලයක් සහ වස යැයි සැක කළ හැකි හිස් බෝතලයක් සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

ඉකුත් 28 වැනිදා උදේ පාසල් සිසුන් රැගෙන යාම සඳහා නිවසේ සිට වෑන් රථයෙන් පිටත්ව ගොස් ඇති මොහු එදින දහවල් සිසු සිසුවියන්ට වෑන් රථයෙන් ඔවුන්ගේ නිවෙස්වලට ඇරලවා නැවත ඔහුගේ නිවසට ගොස් නොමැති බවට පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වී තිබේ. අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත එම සැකකටයුතු මළ සිරුර ගම්පහ මහ රෝහල වෙත පෙරේදා (29දා) සවස රැගෙන ගොස් තිබූ අතර මරණයට හේතුව සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පර්ෂණය ඊයේ (30දා) ගම්පහ මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ බව වේයන්ගොඩ පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ අධීක්‍ෂණය  මත වේයාන්ගොඩ පොලිසිය සහ ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්‍ෂණාගාර (සොකෝ) නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

-ටෝනි අතුකෝරල-