ද (17) ජාතික පුවත්පත්වල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිටු 4 ක්පුරා පළ කර තිබෙන දැන්වීමකින් පශ්චාත් උපාධි ණය හිඟ මුදල් ගෙවිය යුතු සරසවියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කථිකාචාර්යවරුන් රැසකගේ නම් ගම් විස්තර හෙළිදරව් කර තිබේ. ඔවුන් සිය පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා ලංකාවේ අධ්‍යාපනයට වෙන් කළ මහජන මුදල් මිලියන ගණනාවක් ආධාර වශයෙන් ලබාගෙන
තිබෙන අයයි. එම උපාධි ලබාගැනීමෙන් පසු මේ බොහෝ අය විදේශ වලට සේවය සපයමින් ලංකාවෙන් පිටමංව සිටින අයයි. මේ අය ලංකාවේ මහජන මුදල් රුපියල් මිලියන 813 ක් එලෙස වැය කර ඇති බවත් ඒවා නැවත ගෙවාදැමීමට බැඳී සිටින බවත් මෙම දැන්වීමේ සටහන් කර ඇත.

දැන්වීමේ එම ණය මුදල් පොලීද සමග දක්වා ඇති අතර ගෙවිය යුතු අයගේ නම් ලිපින හා ණය ලබාගනිද්දී සේවය කළ සරසවි වල නම්ද දක්වා ඇත.
පහත දැක්වෙන ඉල්ලීමද දැන්වීමේ සටහන්ව ඇත.

‘මෙරට ජනතාව අනේකවිද දුක්ඛ දෝමනස්සයන් මැද එදා වේල පිරිමසා ගැනීම පිණිස ඉතා වෙහෙසකර ලෙස උපයා ගත් මුදලින් ගෙවන ලද බදු මුදලින් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුනි. රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධිය දක්වා ඔබට අධ්‍යාපනය ලබා දුන්නේ ද ඔවුන්ගේම මුදලෙනි. ඔබ බොහෝ දෙනෙකුට මහපොළ ශිෂ්‍ය ආධාර ලබා දුන්නෙමු. ඔබට පශ්චාත් උපාධි සඳහා ණය ආධාරය ලබා දුන්නේ ද එම ජනතාව ලේ, දහඩිය, කඳුළු වගුරා උපයා ගත් මුදලෙනි.

ඔබ එසේ ලබාගෙන බැඳුම්කර කොන්දේසි උල්ලංඝනය කරමින් ගෙවීම් පැහැර හැර ඇති මුදල රුපියල් මිලියන 813 ඉක්මවා ඇත.
එසේ ලද මුදල්වලින් ඔබ අද උගතකු වී වෙනත් රටවල හෝ ආයතනවල උසස් නිලතල හොබවමින් වැජඹෙන බව අප දනිමු. අනාගත පරම්පරාවට අධ්‍යාපනය ලබාදීම සඳහා ඔබ ජනතාවගෙන් ලබාගත් ණය මුදල මෙම මොහොතේ අපට ඇවැසිව ඇත. උපන් බිමට සහ මව්බිමේ ජනතාවට ඔබ ද්‍රෝහියෙක් නොවනු ඇතැයි අප විශ්වාස කරමු. ණයකරුවනි, ඇපකරුවනි පහත සඳහන් මුදල් සහ ඒ මත පොලී මුදල් වහාම ගෙවා ණයෙන් නිදහස් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.