පසුගිය දින දෙක තුළ දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපෑ  තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හා ගං වතුර නිසා හය දෙනෙකු මියගොස් කාන්තාවක අතුරුදන්ව 17,372 දෙනෙකු පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කළුතර, ගාල්ල සහ කොළඹ දිස්ත‍්‍රික්ක වල
පවුල් 4,603කට පමණ

අයත් පිරිස් මෙමගින් පීඩාවට පත්ව සිටී.
කළුතර දිස්ත‍්‍රික්කයේ කළුතර, බණ්ඩාරගම, මතුගම, පාලින්දනුවර, දොඩන්ගොඩ, හොරණ, අගලවත්ත, මිල්ලනිය, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය, මදුරවෙල, බේරුවල සහ පානදුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 1,385කට අයත් 5,227 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර ගාල්ල දිස්ත‍්‍රික්කයේ අක්මීමන, නියාගම, යක්කලමුල්ල, බද්දේගම, තවලම, හබරාදූව, නාගොඩ, කඩවත්සතර, ඉමදූව, ඇල්පිටිය, වැලිවිට දිවිතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 2,292කට අයත් පුද්ගලයින් 8,445 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
කොළඹ දිස්ත‍්‍රික්කයේ මොරටුව ප‍්‍රදේශයේද පවුල් 926කට අයත් 3,700ක් පමණ ගං වතුරින් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වලල්ලාවිටලේදොල, ඔලගොඩ ප‍්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු හා අගලවත්ත රත්මලේ ප‍්‍රදේශයේ එක් පුද්ගලයෙකු ගංවතුරට හසුවී අතුරුදහන් වූ අතර ඔවුන්ගෙන් තිදෙනෙකුගේ සිරුරු හමු විය. එක් කාන්තාවත් තවමත් අරුදන්ව සිටී.
මතුගම ඇල්ල පාර, වෑත්තෑව මතුගම ඇල මාර්ගය හරහා ඇති තාවකාලික පාලම අසලදී සැඩපහරට හසුවීමෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.
ගාල්ල  වඳුරඹ ඌරල ප‍්‍රදේශයේ  පදිංචිව සිටි හැට එක් හැවිරිදි සිව් දරු පියෙක් ද  ජලයේ ගසාගෙන ගොස් මියගොස් ඇත.
මොරටුව ප‍්‍රදේශයේ දීද වලිප්පුව වැලදුණු  රෝගීයෙකු වතුරට වැටීමෙන් මියගොස් ඇත.