ශ්‍රී ලංකා-එංගලන්ත පස්වැනි එක්දින තරගයේදී කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ලයිසන් නොමැතිව විශේෂ නැරඹුම් කුටිචලට මත්පැන් අලෙවි කළ සමාගම එම සැපයුම් කටයුතුවලින් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඊයේ (25)දා පියවර ගත්තේය.

මෙම සමාගම

ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා (විස්සයි20 සහ ටෙස්ට්) විශේෂ නැරඹුම් කුටිවලින් ඉවත් කළ බව ඊයේ (25)දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

එසේම එම නිවේදනයෙන් වැඩිදුරටත්  සඳහන් වන්නේ, ආර්. ප්‍රේමදාස පිටියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් නොමැති බවයි.  මේ අතර ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ඉදිරිතරගවලදී විශේෂ නැරඹුම් කුටි පරිපාලනය ශ්‍රී ලංකා ක්‍රිකට් යටතට ගැනීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට්වල තවත් ටෙන්ඩර් මගඩියක් හෙළිවෙයි, ටෙන්ඩර්වල අවසන් පිටපත් වෙනස් කර වැඩි මිලට ඉල්ලූ පුද්ගලයන්ට ලබාදීලා' යන සිරස්තලය යටතේ පළ කළ පුවතට අවධානය
යොමුකළ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට නියෝග කළේ, පළමුව ටෙන්ඩර් හිමිකරගත් පුද්ගලයන්ට එය ලබාදෙන ලෙසයි. එමෙන්ම කිසි විටෙකත් එම ටෙන්ඩර් වෙනස් නොකරන ලෙසත්, හිතමිතුරන්ට ටෙන්ඩර් ලබාදුන් යුගය අවසන් බවත් මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.