රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත්කිරීමට හේතු වූ කාරණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා
නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ඊයේ (27 වැනිදා) රාත්‍රියේ පැහැදිළි කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය

මහින්ද රාජපක්ෂ මහතාගේත් සහභාගිත්වයෙන් හා අද රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.  තමා රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමෙන් කරගත්තේ නොගැලපෙන විවාහයක් වැනි දෙයක් බවත් වසරක් යද්දී තමාට එය හොඳින්ම අවබෝධ වූ බවත් ජනාධිපති සිරිසේන මහතා එහිදී සඳහන් කළේය.

සංස්කෘතික වශයෙන් තිබූ නොගැලපීම් මෙන්ම බැඳුම්කර ගණුදෙනුව, ආර්ථිකය ගොඩනැඟීමට නොහැකිවීම ඇතුළු කාරණා රැසක් නව ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑ බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.  තමා අද දිනයේ (28) ජාතිය අමතමින් මෙම කරුණු රටට හෙළිකරන බවත් නව අමාත්‍ය මණ්ඩලය අනිද්දා දිවුරුම් දෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කර තිබේ. 

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට ආණ්ඩුවේ සිටි සන්ධාන මන්ත්‍රීවරුද අගමැතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුද එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාද සහභාගි වූහ.
(අජන්ත අගලකඩ)