මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් වී තිබේ.

2094/43 දරණ ගැසට් නිවේදනය මගින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අදාළ නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යදුරයට පත් කිරීමේ පත්වීම් බලධාරියා ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යධුරයට 

පත් කරන ලද රනිල් වික්‍රමසිංහ මහතා එම බලතල ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කරන ලද බවට නිවේදනය කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම 2094/44 දරන ගැසට් නිවේදනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් මස 26 වනදා සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යධුරයට පත් කරන ලද බව නිවේදනය කර තිබේ.

ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

ප්‍රකාශයට පත් කෙරුණු අදාළ ගැසට් නිවේදනය ලබාගැනීම සඳහා ඊයේ (26) රාත්‍රි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා රජයේ මුද්‍රණලා පරිශ්‍රයට පැමිණි අතර අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වමින් මේ බව පැවසීය.