වැලිකඩ බන්ධනාගාරයේ වැඩ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ශල්‍යකර්මයක් සිදු කර තිබෙන බැවින් සහ උන්වහන්සේගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා
පිටතින් ආහාර ලබාදීමට

අවස්ථාව ලබාදෙන මෙන් බොදුබල සේනා සංවිධානය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන පෙරේදා (01දා) ලිඛිතව ඉල්ලීමක් කළේය.

ඉතා දීර්ඝ කාලයක් රටත්, සම්බුද්ධ ශාසනයත්, ජාතියත් වෙනුවෙන් කැපකිරීම් රාශියක් කළ බැවින් සතුරු බලවේග ගණනාවකගේ තර්ජනයට ලක්ව තිබෙන ඥානසාර හිමියන් ඝාතනය කිරීමට මීට පෙර අවස්ථා ගණනාවකදී විවිධ පාර්ශව දැරූ උත්සාහයන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබෙන බවද එම සංවිධානය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට පෙන්වා දී තිබේ.

ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායම් 450ක්, සංක්‍රමනික ඉස්ලාමිය වහබ්වාදී කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ දේශපාලන කණ්ඩායම්වලින් උන්වහන්සේට තර්ජන එල්ල වී තිබෙන බවද බොදුබල සේනා සංවිධානය සදහන් කරයි.

ඥානසාර හිමියන්ගේ ජීවිතය ආරක්‍ෂ කර දෙන්නැයි  බොදුබල සේනා සංවිධානයේ ඉල්ලීම භාරදීමේ අවස්ථාවට එම සංවිධානයේ හිමිවරු, නිලධාරීහු හා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාද එක්වූහ.

මේ සම්බන්ධව කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ අධිකරණයක් මඟින් වරදරකරු කර බන්ධනාගාරගත කර සිටීන සිරකරුවකුට පිටතින් ආහාර ගෙන ඒමට අවස්ථාව ලබා දිය නොහැකි බවයි.