ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ පණිවිඩ යවා රත්නපුර ප්‍රදේශයේදී සංවිධානය කළ සාදයක් අතර සිදු කළ
වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟ

තබා ගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 36දෙනෙකූ  අත්අඩංගුවට ගෙන තිබේ.
 රත්නපුර සිරිපාගම වේවැල්වත්ත ප්‍රදේශයේ ඊයේ සාදය පැවති ස්ථානයේ සිදු වූ ආරවුලක් සමබන්ධයෙන් ලද තොරතුරු අනුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් ගොස් පරීක්ෂා කිරීමේදී මේ අය හඳුනාගෙන තිබේ. වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී මත් පෙති සහ මත් ද්‍රව්‍ය සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් 36 පිරිස අතර තරුණියන් 12දෙනෙකු ද සිටි බව පොලීසිය සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් වයස අවුරුදු 24 ක් වූ, අවරකොටුව, හැඳල, වත්තල පදිංචි මල්ලවආරච්චිගේ දොන් ගයාන් චතුරංග යන අය සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 530 ක් හා ගංජා ග්‍රෑම් 04 ක් ද, වයස අවුරුදු 26 ක් වූ නිසිටිවත්ත, බෝඩුවල, කළුතර ලිපිනයේ පදිංචි විජේමාන්න ලියනගේ හසිත හොන් අබේගුණරත්න යන අය සන්තකයේ විෂ මත්පෙති 04 ක් ද, තිබී සොයා ගෙන ඇත.
ඉහත සැකකරුවන් දෙදෙනා 2018.10.15 වන අද දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙකුත් සැකකරුවන් හා සැකකාරියන්ගෙන් ප්‍රකාශ සටහන් කර අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදා හැර ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 20 ත් 30 ත් අතර රත්නපුර, කළුතර, ගල්කිස්ස, කුරුණෑගල, වත්තල, මාතර සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට කරුණු අනාවරණය වී ඇත. රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.