සුගියදා දෙහිවල බෙල්ලන්විල ප්‍රදේශයේ වෛද්‍යවරියකට මරු කැඳවමින් වෛද්‍ය නිවසක ඇතිවූ ගිනිගැනීමේ සිදුවීමට අදාළ වැඩිදුර විස්තර මේ වනවිට තවදුරටත් අනාවරණය වෙමින් පවතී. බෙල්ලන්විලට හිටපු රත්තරං දොස්‌තර නෝනා යනුවෙන් අසල්වාසීන්ගේ ආදරයට ලක්වූ මියගිය විදර්ශි ඩයස් මහත්මිය හා එම පවුල සම්බන්ධයෙන් අසල්වාසීන් විස්තර සපයා ඇත. එම විස්තර අනුව සිද්ධියට පෙර දින මෙම පවුලේ අය විනෝද චාරිකාවක නිරතවී සිට ඇති අතර
එම වෙහෙස නිසාම පසුදින විවේක ගනිමින් දහවල් කාලයේද නින්දට වැටී ඇත. ආවාසනාවන්ත ගින්න හටගන්නේ එම අවස්ථාවේය. මේ අතර ගිනි නිවීම සඳහා පැමිණි අය ජලය විදින වෑල් එක වට්‌ටාගැනීමේ දෝෂයක් නිසා ගින්න නිවීම ප්‍රමාදවීමත් ඒ නිසාම ගින්න වඩාත් පැතිරුණ අවස්ථාවක දොස්තර යුවළ හා දරුවා වෙත පමාවී යාමට ඔවුන්ට සිදුවීමත් මෙම මරණය වළක්වාගැනීමේ මං ඇහිරයාමක් ලෙස අසල්වාසීන් විස්තර කර තිබේ.
සිද්ධිය ගැන  විස්‌තර කළ මෙම නිවසට යාබද නිවසේ වාසය කරන පද්මා ජයසිංහ මහත්මිය මෙසේ කියා සිටියාය.

"මේ ගෙදර විදර්ශි දොස්‌තර නෝනයි, දොස්‌තර මහත්තයයි, පුතයි, දොස්‌තර මහත්තයාගේ අම්මයි ඉන්නේ. මම ඉන්නේ ඊට අල්ලපු ගෙදර. ඒ ඉන්න කොට පාරේ ඉස්‌සරහ අම්මා කෙනෙක්‌ කෑගැහුවා දොස්‌තර මහත්තයාගේ ගේ ගිනි ගන්නවා කියලා. මම එළියට පැනලා බලනකොට ගේ හෝ ගාලා ගිනි

ගන්නවා. දොස්‌තර මහත්තයාගේ අම්මා එලියට පැනලා කෑගැහුවා මගේ ළමයි පිච්චෙයි බේරගනියෝ කියලා. පස්‌සේ මම ඒ අම්මව අපේ ගෙදරට එක්‌කර ගෙන ගිහින් වාඩි කළා. පස්‌සේ අපේ ගේ පැත්තෙන් ගමේ අයයි ගිනි නිවන හමුදාවේ අයයි දොස්‌තර මහත්තයාගේ සීට්‌ වහල උඩට නැගගත්තා.

ගින්න ඒ තරමටම සැරයි. පස්‌සේ ගිනි නිවස හමුදාවේ මහත්වරු වහලයේ සීට්‌ කඩලා දොස්‌තර නෝනයි, මහත්තයයි දරුවවයි හිටපු නාන කාමරයට බැහැලා තියෙනවා. ඊට පස්‌සේ මුලින්ම පුංචි පුතාව එළියට ගත්තා. පුතාව 1990 හදිසි ගිලන් රථයට දානකොට තාත්තයි, අම්මයි ගේ ඇතුලේ ඉන්නවා කියලා අවසිහියෙන් වගේ කිව්වා. ඒ එක්‌කම දරුවව රෝහලට අරන් ගියා. පස්‌සේ දොස්‌තර නෝනව එළියට ගත්තා. නෝනට සිහිය තිබුණේ නැහැ. පස්‌සේ මහත්තයාවත් එළියට ගත්තා. අනතුරුව ඒ දෙන්නම බොරලැස්‌ගමුව පොලිසියේ ජීප් රථයෙන් රෝහලට රැගෙන ගියා. අනේ දෙයියනේ මේක කොහොම වුණාද දන්නේ නැහැ. මේ පවුල කාටත් කරදරයක්‌ නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වූ අය. මෙහෙම අහිංසක පවුල්වලටත් මෙහෙම විපත්ති වෙනවනේ."

අවාසනාවන්ත අන්දමින් මියගිය විදර්ශි ඩයස්‌ ගැබිනි වෛද්‍යවරිය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. පසුව ඇය කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබාගත්තාය. පසුව ඇය වෛද්‍ය අනුරංග ඩයස්‌ මහතා සමඟ විවාහ වී වෛද්‍ය අනුරංග මහතාගේ බෙල්ලන්විල නිවසේ පදිංචියට පැමිණ තිබේ. ඔවුන්ගේ එකම පුතණුවන් වන ආර්ය ඩයස්‌ පුතාගේ පස්‌වැනි උපන් දිනය පසුගිය 31 වැනිදා සතුටින් සමරා තිබේ. මෙම නිවසේ පදිංචි වෛද්‍ය අනුරංග මහතාගේ 63 හැවිරිදි මෑණියන් අසනීප තත්ත්වයෙන් පසුවූවාය. බෙල්ලන්විල විහාර පාර දෙස සිට පැමිණෙන විට ශ්‍රී සෝමරතන මාවත එක්‌වන ස්‌ථානයේ මෙම දෙමහල් නිවස පිහිටා තිබේ. විදර්ශි වෛද්‍යවරිය මීට පෙර හොරණ මූලික රෝහලේ සේවය කළ අතර, පසුව
ඇය ආර්ය පුතු බිහිකිරීමෙන් පසු රැකියාවෙන් ඉවත් වූ නිවසේ පහල මාලයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ සැමියා සමඟ පවත්වාගෙන ගියාය.


ප්‍රදේශවාසියකු වන ලලිත් විඡේසිංහ මහතා මෙසේ පැවැසීය.

"අපි දොස්‌තර නෝනයි, මහත්තයයි, දරුවයි බේරාගන්න ගේ ඇතුළට යන්න උත්සාහ කළත් ගින්නේ සැරකම නිසා එකපාරටම ඇතුළට යන්න බැරිවුණා. පස්‌සේ අපි ගිනි නිවන හමුදාවේ අයත් එක්‌ක අනික්‌ පැත්තේ ගෙදරින් දොස්‌තර නෝනගේ සීට්‌ වහලයට නැගගත්තා. දැන් මේ අය ඉන්නේ කොහෙද කියන එක හිතාගන්න බැරිවයි හිටියේ. පස්‌සේ අපි පැත්තකින් වහලයේ සීට්‌ කඩලා ඇතුලට පැන්නා. අපි දැක්‌කා නාන කාමරයේ තුන්දෙනාම එකට බදාගෙන ඉන්නවා. සිහිය නැතිව වගේ ඒ අය හිටියේ. වතුර කරාමයක්‌ සවර් එකත් ඇරලා තිබුණා. අර දුමෙන් බේරෙන්න."
"අනිත් එක තමයි ගිනි නිවන හමුදාවේ මුලින් ආපු ගිනි නිවන රථයේ අර ජලය විදින වෑල් එක වට්‌ටගෙන ඇවිත්. ඒ දොaෂය නිසා ඒ ගින්න මැඬපවත්වන්න අමාරු වුණා. ඊට පස්‌සේ ආපු ගිනි නිවන රථ තුනෙන් තමයි මේ විශාල ගින්න නිව්වේ. ඒ වුණත් දොස්‌තර නෝනගේ මුළු ගේම අළුවෙලා ඉවරයි."

පශ්චාත් මරණ පරීක්‍ෂණය 07 වැනිදා සිදු කළ අතර අදහස්‌ දැක්‌වු රෝහල් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. දසනායක මහතා
මෙසේ කීය.
‘මේ වෛද්‍යවරියගේ ශරීරයේ පිළිස්‌සුම් තුවාල කිසිම දෙයක්‌ තිබුණේ නැහැ. අපි සැක කරන්නේ විෂදුම් ආඝ්‍රාණය වීමෙන් මේ මරණය සිදුවෙන්න ඇති කියලා. කොහොම නමුත් වෛද්‍යවරියගේ සිරුරෙ කොටස්‌ අපි රජයේ රස පරීක්‍ෂකවරයා වෙත වැඩිදුර පරීක්‍ෂණ සඳහා යොමු කරනවා. ඒ ලැබෙන තීරණ අනුව මෙම
මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කරන්නම් වෛද්‍යවරියගේ මාස 5 ළදරු කලලයත් මියගිහින් තිබුණා. නිවස ගිනි ගත්ත අවස්‌ථාවේ ප්ලාස්‌ටික්‌ වැනි ද්‍රව්‍ය පිළිස්‌සෙන විට එයින් කාබන්මොනොක්‌සයිඩ් වැනි විෂ දුම් පිටවී තිබෙනවා.‘

මියගිය වෛද්‍ය විදර්ශි ඩයස්‌ මහත්මියගේ දේහය ඇගේ සොයුරා භාරගත් අතර ඒ පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (09 වැනිදා) සවස විශාල පිරිසකගේ දැඩි ශෝකාලාපයන් මධ්‍යයේ පානදුරදී සිදුකෙරිණි.
වෛද්‍ය අනුරංග මහතා සහ ආර්ය පුංචි පුතු තවමත් කළුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. අනුරංග මහතා සිය ප්‍රිය බිරිඳවූ වෛද්‍ය විදර්ශි මහත්මිය සිය ජීවිතයෙන් සදහටම සමුගෙන ගිය පුවත දන්නේ නැත. ආර්ය පුතු තම දයාබර මෑණියන් තමාවත්, පියාවන් අත්හැර ගිය බව තේරුම් ගැනීමට තරම් මනසක්‌ නැත.
වෛද්‍ය අනුරංග ඩයස්‌ මහතාගේ මෙම නිවස මීට වසර 20 කට උඩදීද ගිනි ගෙන විනාශ වී ඇතැයිද හෙළිවිය. එසේම මීට වසර 4 කට උඩදී මෙම වෛද්‍ය යුවළගේ නිවසේ දේපල කිසියම් පිරිසක්‌ විසින් සොරාගෙන ගොස්‌ තිබූ බව හෙළිවිණැයිද පොලිසිය පවසයි.
මෙවර ගින්නට හේතුව කඩාකප්පල්කාරී වැඩක්ද යන්න ගැන සැකයක් පොලිසියට ඇතිව තිබුණත් තවම ඒ ගැන පරීක්ෂණ අවසන් නැත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රියන්ත මද්දුමආරච්චි ,එස්‌. පී. ආරියරත්න