කම දිනයක යුද හමුදා සේවයට බැඳුණ නිවුන් සොයුරන් දෙදෙනෙක් එකම දිනයක මේජර් ජනරාල් පදව වලට පත්වීමේ විරල සිදුවීමක් පසුගියදා වාර්තා විය.
මාදුරු ඔය යුද හමුදා පුහුණු පාසලේ සේවා විධායක ජයන්ත සෙනෙවිරත්න සහ යුද හමුදා තත්ව ආරක්ෂක සහ පිරික්සුම් අධ්‍යක්ෂ පූරක සෙනෙවිරත්න මෙම ඉතිහාසගත වාර්තාවට හිමිකම් කියති.
නිවුන් සොහොයුරන් දෙදෙනකු එකම දිනයේ
යුද හමුදාවට බැඳී එකම දිනයක මේජර් ජනරාල්වරුන් වශයෙන් උසස් වීම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. මේ දෙදෙනාගේ 53 වැනි ජන්ම දිනය යෙදුණු දිනයේදීම මෙසේ උසස්වීම් ලැබීමද විශේෂ සිද්ධියකි.
ජනසීහ සෙනවිරත්න

සහ ලීලා සෙනවිරත්න යුවළගේ දරුවන් වන ජයන්ත සහ පූරක 1965 සැප්තැම්බර් 06 වනදා රත්නපුර
මහ රෝහලේදී උපත ලබා ඇති අතර ජයන්ත උපත ලබා විනාඩි කීපයකට පසුව පූරක උපත ලබා ඇත. පළමු ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වාම මෙම නිවුන් සොහොයුරන් රත්නපුර සීවලී ප්‍රාථමික විද්‍යාලයේත්තේ සීවලී මධ්‍ය මහා විද්‍යාලයේත් අධ්‍යාපනය ලබා ඇත්තේද එකම පන්තියේය.

සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙදෙනාම සමාන ප්‍රතිඵල ලබා ඇති අතර ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට එහිදීත් සමාන ප්‍රතිඵල ලබා ඇත. උසස් අධ්‍යාපනයෙන් පසු සොහොයුරන් දෙදෙනාම 1985 නොවැම්බර් පළමු වැනිදා පාඨමාලා අංක 21 යටතේ කැඩේට් නිලධාරීන් වශයෙන් යුද හමුදාවට බැඳී ඇත.

දියතලාව යුද හමුදා විද්‍යා පිඨයේ මසක පුහුණුවකින් පසු මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා වැඩිදුර පුහුණුව සඳහා පාකිස්තානය බලා පිටත්ව ගොස් ඇති

අතර පාකිස්තානයේ පුහුණුව නිමකර 1986 ජුලි මස 24 වැනිදා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ජයන්ත සෙනවිරත්න සිංහ රෙජිමේන්තුවටත්, පූරක සෙනවිරත්ත සංඥා බලකායටත් අනුයුක්ත කෙරිණි.
බලවේගය 1 සහ වන්නි වික්‍රම යන මෙහෙයුම්වලට දෙදෙනාම සම්බන්ධ වී ඇති අතර යුද්ධයේ උච්චතම අවස්ථාවලදී මේ දෙදෙනා වැඩි වශයෙන් සේවය කළේ මෙහෙයුම් කලාපවල බවද වාර්තාවෙි.

මෙම සොහොයුරන් දෙදෙනා ලුතිනන්, කපිතාන්, මේජර් සහ ලුතිනන් කර්නල් යන නිලවලට එකම දිනයේ උසස්වීම් ලබා ඇත. පසුව ජයන්ත සෙනවිරත්න කරනල් සහ බ්‍රිගේඩියර් තනතුරුවලට උසස්වීම් ලැබුවද සංඥා බලකායේ පුරප්පාඩු නොමැතිවීම හේතුවෙන් සුදුසුකම් සපුරා තිබුණද පූරකට මෙම තනතුරුවලට උසස්වීම් ලැබීමේදී ප්‍රමාදයක් සිදුවී ඇත. මෙම උසස්වීම්වලින් පසු නිවුන් සොහොයුරන්ට යළිත් එකවර උසස්වීම් ලැබීමට පසුගිය 06 වැනිදා වාසනාව හිමිවූ අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ නිර්දේශය ජනාධිපතිවරයා වෙත යොමුකිරීමෙන් පසු දෙදෙනාම එකම දිනයකදී මේජර් ජනරාල් නිලයට උසස් කරනු ලැබූහ.

(ඉන්දිකා රාමනායක)