ජන බලය කොළඹට තේමා කරගනිමින් ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ විරෝධතා පා ගමන මේ වන විට ස්ථාන කිහිපයක සිට ලේක් හවුස් වටරවුම දෙසට ගමන් කරමින් සිටින අතර මාර්ග රැසක වාහන
ගමනාගමනය අවහිරවී තිබේ. මේ නිසා අද දින සේවය නිමවා නිවෙස් බලා යන්නට අපේක්ෂිත විශාල පිරිස් අපහසුතාවන්ට ලක්ව ඇත.
කොළඹ පුරහල අසලින් ආරම්භ කළ පා

ගමන මේ වනවිට ඩී.ආර්. විජේවර්ධන මාවත හරහා ලේක් හවුස් වටරවුම දෙසට ගමන් කරමින් සිටින අතර
ඒ හේතුවෙන් පුරහල සිට ඉබ්බන්වල හංදිය හරහා ඩී.ආර්. විජේවර්ධන මාවතේ රථවාහන ධාවනය මුළුමනින්ම ඇනහිට ඇත.
සුගතදාස ක්‍රීඩාංගණය අසල සිට ආමර්වීදිය, පංචිකාවත්ත, හා ටෙක්නිකල් හංදිය දක්වා හා ටෙක්නිකල් හංදිය සිට ලේක්හවුස් දෙසට ද විරෝධතාකරුවන් ගමන් ගන්නා බැවින් එම මාර්ගවල ද මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.
‍එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පිහිටි ඩාලි පාර හරහා ද මේ වනවිට විරෝධතාකරුවන් ගමන් කරමින් සිටින අතර ඩාර්ලි පාරේ රථවාහන ධාවනය ද ‍මුළුමනින්ම ඇනහිට ඇතැයි  වාර්තාකරුවෝ පවසති.
කොල්ලුපිටිය සිට ගාලු මුවදොර දෙසට බර වාහන ඇතුළු වීම ද මේ වනවිට සීමා කර ඇත.
පොලිස් බුද්ධි අංශ වාර්තාවලින් වාර්තා අනුව අද දින සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට එක්වීම සඳහා පිටපළාත්වලින් බස් රථ 1,100 ක් එක්කරගෙන ඇති බවත්, ඒවායින් 523ක් මේවන විට කොළඹට පැමිණ ඇතැයිද වාර්තා වේ.
එම බස් රථ මේවන විට නුගේගොඩ, නාරාහෙන්පිට හා මාලිගාවත්ත ප්‍රදේශවල ගාල්කර ඇති බව ද වාර්තා වේ.