කාබද්ධ විපක්ෂය මගින් අද සවස 2 ට කොළඹදී ‘ජන බලය කොළඹට‘ නමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ. ‘රට වනසන ආණ්ඩුව පළවා හරිමු කොළඹ වටළමු‘ යන්න එහි සටන් පාඨය වී තිබේ. උද්ඝෝෂණ රැළිය පවත්වන ස්ථානය ඊයේ සවස වනතුරු අනාවරණය නොකරන්නට එහි ප්‍රධාන සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කර තිබුණි. උදය ගම්මංපිල කළ ප්‍රකාශයකට අනුව
කොළඹට පැමිණෙන පාක්ෂිකයින් අද රාත්‍රියත් කොළඹම ගත කරන ස්වරූපයක් එළිදරව් කළ අතර මේ නිසා උද්ඝෝෂණය අද පමණක් නොව හෙටත් පවතීද යන්න ගැන අවිනිශ්චිත අදහස් පහළවී තිබේ.

කොළඹට ඇතුළුවන සියලුම මාර්ග මෙහිදී අවහිර කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර තිබෙන අතර මේ හේතුවෙන් අද දින කාර්යාල කටයුතු සඳහා පිට පළාත්වල සිට පැමිණෙන පිරිස් ඇතැමුන් නිවාඩු දමන්නට සූදානමින් පසුවූ බවත් අද සවස ව්‍යාපාරික මට්ටමේ හා විනෝදාත්මක ස්වරූපයේ හෝටල් අවන්හල් වල යොදාගෙන තිබූ උත්සව බොහොමයක් කල් දමා තිබෙන අයුරුත් අනාවරණය වේ.


මේ අතර මෙම උද්ඝෝෂණය පවත්වන්නට ප්‍රධාන හේතු අතර සංඝයා වහන්සේලා සිරගත කිරීම,මැතිවරණ නොපැවැත්වීම, බදු බර, ජීවන වියදම වැනි කරුණු ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දී ඇත. නමුත් ආණ්ඩු පක්ෂය පවසන්නේ පසුගිය සතියේ විශේෂ අධිකරණ කටයුතු ඇරඹීමත් මෙම සතිය තුළ ජොන්ස්ටන්ගෙන් පටන්ගෙන ගෝඨාභය නාමල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අයට එරෙහි නඩු බොහොමයක් විභාග කර ඔවුන්ට දඩුවම් නියම කිරීමට නියමිතව තිබීමත් නිසා එම අපකීර්තිය පලිගැනීම් ලෙස වෙනස් ආකාරයකට අර්ථ ගන්වන්නට මෙම උද්ඝෝෂණ සංවිධානය කර ඇති බවයි.

මෙම උද්ඝෝෂණ වලදී ජනපති නිල නිවස , අරලිය ගහ මන්දිරය හා පාර්ලිමේන්තුව ආදී ස්ථාන වටළන්නට ඉඩ කඩ පවතින බව දක්වමින් වාරණ  නියෝග ගැනීමට ඊයේ පොලිසි හතරක් අධිකරණය වෙත ගියද වාරණ නියෝග ගන්නට අසමත් වූ අතර හදිසි අවස්ථාවක ක්‍රියාකිරීමේ බලය හා අත්අඩංගුවට ගැනීමේ බලය පිළිබඳ පොලිසියට නැවත අධිකරණය  මගින් උපදෙස් දීම් පමණක් සිදු කරන ලදි.

මෙම උද්ඝෝෂකයින් අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරයට ඇතුළුවී කළහකාරී ලෙස හැසිරීමට යන බවටත් තවත් පිරිසක් වෙස් මුහුණු පැළඳගෙන අරලියගහ මන්දිරයට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිට දේව කන්නලව් සහ ශාන්තිකර්ම සිදුකිරීමේ කටයුතු සිදුකරනු ලබන බවත් බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ද මලලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස වටලා
ජනාධිපතිවරයාට එළියට ඒමට නොහැකි පරිදි එදින සිට පසුවදා දක්වා පන්දම් දල්වා රැඳී සිටිමින් රජයට විරුද්ධව කටයුතු කරන්නට සූදානම් බවටද කොල්ලුපිටිය හා කුරුඳුවත්ත පොලිසි කරුණු දක්වන ලද නමුත් අනවශ්‍ය කටයුතු සිදු කරන්නට යනවා නම් ඒවා මැඩ පවත්වන්නට පොලිසියට බලය ඇතැයිද වෙනම වාරණ නියෝග අවශ්‍ය නැතැයිද මහේස්ත්‍රාත් වරුන් දන්වන ලදි.


මේ අතර පාර්ලිමේන්තු වටරවුමේ සිට පොල්දූව වටරවුම දක්වා උද්ඝෝෂකයින් ඇතුළුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස තලංගම පොලිසිය කළ ඉල්ලීමක්ද කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් ප්‍රතිෂ්ප කරනු ලැබීය. යම් හෙයකින් උද්ඝෝෂකයින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් කටයුතු කළහොත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසට ද අධිකරණයෙන් නියෝග නිකුත් විණි.

පාර්ලිමේන්තුව අවට රැස්වුවද එය සාමකාමීව සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි වැලිකඩ පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජලා ද සිල්වා මහත්මිය සාමකාමී රැස්වීමක් පැවැත්වීමට අධිකරණයේ නියෝග අවශ්‍ය නැති බැවින් එය සාමකාමීව සිදුකරන ලෙසට දැනුම් දුන්නාය. එහෙත්  පොදු දේපලවලට හානි කරමින් රාජ්‍ය ආයතනවලට අයුතු ලෙස ඇතුළුවෙමින් මහජන පීඩා ඇතිවන අයුරින් හැසිරුණ හොත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සහ පොලිස් ආඥා පනත ප්‍රකාරව කටයුතු කරමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ද  දැනුම් දුන්නාය.