මේ දිනවල යුරෝපා සංචාරයක නිරත වෙමින් සිටින කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ලන්ඩනයේදී සතිඅන්ත ඉරිදා පුවත්පතක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී පසුගිය දිනවල  ඒහිමියන් හා පිටිදූවේ හිමියන් අතර සමාජ ජාල වල පැතිරුණ සංවාදයට පිළිතුරු
සපයා තිබේ.
පහත පළවන්නේ එයයි.


ප‍්‍ර : මේ කාලේ රහතුන් වහන්සේ වැඩ ඉන්න බැරිද ?

පි: මේ කාලේ රහතුන් වහන්සේ පෘථිවියේ නෑ. ඒක මට ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන්. බ‍්‍රහ්ම ලෝක වල වගේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ භික්ෂුණී සංඝයා බිහි කළාට පස්සේ උන්වහන්සේ වදාළා මගේ සාසනය තියෙන්නේ අවුරුදු පන්සීයයි. අපි බුද්ධ වචනය පිළි අරගෙන ඉතිහාසය බලන්න ඕනෙ හරිද කියලා. හරියටම ඒක සිද්ධ වෙලා තියෙනවා. මහාවංශයේ තියෙනවා බුද්ධ ශාසනය ලංකාවේ පිහිටනවා කියලා. ඒකත් ඇත්ත. සත්වයාට දිගින් දිගටම බවයෙන් නිදහස් වීමට ඉඩ නොදී රඳවා ගෙන යන බලවේගයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ මාරයා කියලා. එයා පාවිච්චි කරනවා මනුෂ්‍යයාගේ තියෙන කෙලෙස් එයාගේ කාරණා ඉෂ්ට කර ගන්න.බුදුරජාණන් වහන්සේ මාරයා පරදවා බුදුවුණා. වසර 5000 ක් යනකං සාසනය පැවැත්වුණත් වසර 500 න් පස්සේ රහත් වෙන්න මාරයා ඉඩ දෙන්නේ නෑ.සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසූ කෙනාට කියන නමක් තියෙනවා. මරසෙන් මැඬළු කෙනා. මාරයා ඉඩදෙන්නේ නෑ ඒකට. නමුත් සෝවාන්, සකෘදාගාමී වගේ ඵල වලට එන්න පුළුවන්.


ප‍්‍ර : ඔබ වහන්සේට නොයෙකුත් චෝදනා අවලාද නැගෙන්නේ ඇයි?

පි: ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ. බලන්න, දොළුකන්දෙ හාමුදුරුවන්ට මාධ්‍යයෙනුත් ගැහුවා. හාමුදුරුවරුත් ගැහුවා. අද හාමුදුරුවොත් නෑ. ගහත් නෑ.

ධර්මපාලතුමා ඉන්නකම්ම ගැහුවා. එතුමා සිංහල ජාතියටත් සාප කරල රටෙනුත් ගියා. නමුත් මැරුණට පස්සේ පිළිම හද හදා ගුණ ගායනා කරන්න පටන් ගත්තා. ධර්මපාලතුමා කිව්වා සිංහල ජාතියට උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ජාතියෙන් බැනුම් අහන්න ලැහැස්ති වෙන්න කියලා. සමහරු මගෙන් අහනවා ඔබ වහන්සේට බනිද්දි සැලෙන්නේ නැද්ද කියලා. මම සැලෙන්නේ නෑ. හේතුව, මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙනෙහි කරනවා. මට සමහරු බනිද්දි සමහරු ප‍්‍රශංසා කරනවා. නින්දා විතරක් නෙමේ ප‍්‍රශංසාත් ලැබෙනවා. අලාභ විතරක් නෙමේ ලාභත් ලැබෙනවා. දුක විතරක් නෙමේ සැපත් ලැබෙනවා. අෂ්ට ලෝක ධර්මයේ හැම පැත්තක්ම ලැබෙනවා. අනිත් අය හිතනවා නම් ඒ ගොල්ලන්ට අෂ්ට ලෝක ධර්මෙන් එක පැත්තක් විතරක් ලැබෙනවා කියලා ඒක ඒ ගොල්ලන්ගේ වැරැද්දක්.

ප‍්‍ර : ප‍්‍රසිද්ධ හාමුදුරු නමක් ඔබ වහන්සේට ප‍්‍රසිද්ධ විවාදයකට ආරාධනා කරලා තිබෙනවා.

පි: පිටිදූවේ සිරිධම්ම ගැන මම වචනයක් කියන්න කැමතියි. මට ඕන වුණේ එයත් එක්ක වාද කරන්න නෙමේ. එයා රහත් නෑ. එයා අඳ බාල පෘථග්ජනයෙක් කියලා ඔප්පු කරන්නයි. මට ඒක ඔප්පු කරන්න එච්චර මහන්සියක් ගන්න ඕන වුණේ නෑ.මම වචන දෙකයි කිව්වේ. ඉස්සෙල්ලා මම කිව්වා රහත් රංග පීඪය කියලා. කියපු ගමන් ඇවිස්සුනා. තව චුට්ටක් අවුස්සන්න ඕනෙ කියලා දෙවෙනි වතාවටත් ඇවිස්සුවා. එයා අඳ බාලයෙක් කියලා මම දැන් ඔප්පු කරලා ඉවරයි.

ප‍්‍ර : ඔබ වහන්සේ සේරුවිල කරපු පලතුරු පූජාව පලතුරු අපතේ යෑමක් නෙමේද ?

පි: කොහෙත්ම නැහැ. තමන් ගේ වත්තේ හැදෙන පලතුරක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම අපේ සම්ප‍්‍රදායක්. ඉතිං අපි කිව්වා තමන් ගේ වත්තේ හැදෙන මොනවා හරි පලතුරක් ගෙනත් ලලාඪ ධාතූන් වහන්සේට පූජා කරන්න කියලා. අපි හිතුවටත් වඩා පලතුරු ගෙනත් තිබුණා. මම ජීවිතේට නොදැකපු පලතුරු තිබුණා. සමහර අය ශ‍්‍රද්ධාව නිසා කෙසෙල් කැන් පිටින් ගෙනත් තිබුනා. නමුත් ඒ එකක්වත් අපතේ ගියේ නෑ. දවල් 12න් පස්සේ අකැප වන නිසා ඒ සියල්ලම මිනිස්සුන් ගේ ආහාරයට ගත්තා. කිසි දෙයක් අපතේ ගියේ නෑ.


ප‍්‍ර : එහෙම පූජා ක‍්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණද ?

පි: නෑ. එහෙම පූජා ක‍්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුනෙ නෑ. කතරගම දෙවියන්ට නං මිනිස්සු ලක්ෂ ගණනින් පලතුරු පූජා කරනවා. මේක අපි හැමදාම කරා නෙමේ. හැම තැනම කරා නෙමේ.තව එකක් කියන්න ඕනෙ. අර පුද්ගලයාට ඉස්සර ඉඳලා බුදුරජාණන් වහන්සේට පුදන කොට කේන්ති යනවා. එයාට පුදන කොට එයාට කේන්ති යන්නේ නෑ.අවුරුදු ගණනාවකට කලින් බුදු පිළිම වලින් රැස් විහිදුනා. මිනිස්සු වඳින්න පටන් ගත්තා. මට වර්ෂය මතක නෑ. එතකොට මම හිටියේ ඉන්දියාවේ. එතකොට මේ පුද්ගලයා රූපවාහිනී වැඩ සටහනකට ඇවිත් කිව්වා කවුරුවත් මේකට රැවටෙන්න එපා. බුදුරැස් විහිදෙන්නෙ නෑ. හිත පහදගන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේට හිත පහදගන්න හදනකොට ඒකට විරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ රැස් විහිදෙන්නේ නෑ කිව්වා. තමන්ට ඩිජිටල් රැස් විහිදව ගත්තා. ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයාගේ ප‍්‍රශ්න වලට උත්තර දෙන එකත් නිරර්ථකයි. මේ පුද්ගලයා අඳ බාල පෘථග්ජනයෙක් කියන අවබෝධයේ ඉඳගෙන තමයි උත්තර දෙන්න ඕනෙ.

ප‍්‍ර : ඔබ වහන්සේ පසුගියදා රන් කොත් වෙහෙරේ පැවැත්වූ පූජාවට සීත ගඟුලේ අපිරිසිදු ජලය පූජා කළා යැයි චෝදනාවක් තිබෙනවා.

පි: සම්පූර්ණයෙන්ම වැරදි චෝදනාවක්. මිනිස් වාසයක් නැති සීත ගඟුල පටන් ගන්න තැනින් ගත් පිරිසිදු ජලය තමයි පූජා කළේ.

ප‍්‍ර : රන් කොත් වෙහෙරට ජලය පූජා කරනවාට වඩා එම වෙහෙර පිහිටා තිබෙන පොළොන්නරුවේම වෙසෙන වකුගඩු රෝගීන්ට පිරිසිදු ජලය ලබා දුන්නා නම් හොඳ නැද්දැයි තර්කයක් තිබෙනවා.

පි: අපිට චෝදනා කරන්න ඉස්සෙල්ලා බලන්න ඕනෙ අපි වකුගඩු රෝගීන් උදෙසා කර තිබෙන දේවල්. අපි පිවිතුරු පැන් පූජා කියල පිරිසිදු ජලය ලැබෙන ජලය පෙරන යන්ත‍්‍ර ලබා දෙන ව්‍යාපෘතියක් (Water Filter Project) කරලා තියෙනවා.පොළොන්නරු දිස්ත‍්‍රික්කයට පමණක් නෙමේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයටත්. ජලය පෙරන යන්ත‍්‍ර ලබා දෙන ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ විස්සක් පමණ වැය වෙනවා. ඒ වගේ ව්‍යාපෘති දැනට අපි විස්සක් විතර කරලා තියෙනවා. ලක්ෂ ගණනක් මිනිසුන්ට පිරිසිදු ජලය අපි ලබා දීලා තියෙනවා මේ පූජාවට ඉස්සෙල්ලා.

ප‍්‍ර : ඔබ වහන්සේගේ අසපුවල තිබෙන සමහර බුදු පිළිම

ගැහැනු ස්වරූපයක් ගන්නා බවට චෝදනාවක් තිබෙනවා.

පි: තායිලන්තෙත් තියෙනවා මේ වගේ පිළිම. කෙනෙක් ගියා නම් ඉන්දියාවේ බරණැස කෞතුකාගාරයට ඒකෙ තියෙන බුදු පිළිම දැක්කා නම් පුදුම වෙනවා. ඉන්දියාවෙන් තමයි අපේ පිළිම ආකෘති ලබා ගෙන තියෙන්නේ. වැරදි කෝණෙකින් බැලූවොත් අවුකන බුදු පිළිම වහන්සේටත් චෝදනා කරන්න පුළුවන්. අනුරාධපුරේ සමාධි පිළිමෙටත් ඉස්සර රත්තරන් ගාලා, ඇස් වලට මැණික් ඔබ්බලා තිබිලා තියෙන්නේ.

සාකච්ඡා කළේ - සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට
ඉරිදා දිවයින