ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ බිරිය වන චිත්‍රාංගනී විජේවීර
මහත්මියගේ සොහොයුරා වූ ‍දොස්තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා 05දා උදෑසන වනවාසල තෙලඟපාත දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇත.

මහාචාර්ය සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා මිය යන විට 73 වැනි වියේ

පසුවී ඇති අතර දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිට ඇත. ඔහුගේ වකුගඩු දෙකම නරක් වීම හේතුවෙන් අධික ශාරීරික පීඩාවකින් පෙළීම නිසා කල කිරීමට පත්ව සිටියේ යැයි සොහොයුරිය වූ ශිරානි මල්ලිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

වසර තුනක පමණ කාලයක සිට වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ඒ මහතා 05 වැනිදා උදෑසන නේවාසික කාමරයෙන් පිටතට පැමිණ දිවි හානි කරගෙන ඇත.

මිය යෑමට සතියකට පෙර සිය නැඟණිය වූ ශිරානි මහත්මියට ඔහු සතුව ඇති සියලු දේපළවලට හිමිකම පවරා දී ඇති අතර ඔහුට හිමිව තිබූ මෝටර් රථයද ඇගේ නමට පවරා දී ඇත.

මෙලෙස කිරීමට හේතුව විමසූ විට මගේ ජීවිතය කොයි මොහොතේදැයි විශ්වාස නෑ. වකුගඩු බද්ධ කිරීමටත් දැන් බැහැ. එනිසා මේවා එකලස් කර තැබීම මගේ යුතුකමක් යැයි සොහොයුරා ඇයට පැවසූ බව ශිරානි මහත්මිය පැවසුවාය.


සියදිවි හානිකර ගැනීමට පෙර සිය කලිසම් සාක්කුව තුළ පාරමිතා වැඩිහිටි නිවාසය භාර ස්වාමීන් වහන්සේගේ නම සහ දුරකථන අංකය දමාගෙන සිට ඇති අතර නිවෙසේ ලිපිනය, සිය නිදන කාමරයේ කොට්ටය යට තිබියදී හමුවී ඇත.

දුම්රිය අනතුරින් මියගිය චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ දේහය අනතුරට පත් දුම්රියෙන් හුණුපිටිය දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර ශිරානි මල්ලිකා ප්‍රනාන්දු නැඟණිය පැමිණ සහෝදරයාගේ සිරුර හඳුනාගෙන ඇත.

පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇති මළ සිරුර මරණ පරීක්ෂණ වාර්තාවලින් පසුව අවසන් ගෞරව දැක්වීමට පිණිස බොරැල්ල ජයරත්න මල්ශාලාවේ වී.අයි.පී. ශාලාවේ තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු 07 වැනිදා සවස 4.00ට බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.

මොළයට, උදරයට, පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

දුම්රිය රියැදුරුට 13 වැනිදා පෑලියගොඩ මරණ පරීක්ෂක ඩබ්ලිව්.ඩී.පත්මසිරි මහතා හමුවට උදේ 10.00ට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙස පොලිසිය දැනුම්දී ඇත. මෙම මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇත.

නීලා ඩුල් මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ චන්ද්‍ර ප්‍රනාන්දු මහතා පුතුන් දෙදෙනකුගේ පියෙකි. එක් පුතෙක් වෛද්‍යවරයකු බවත් දැනට එංගලන්තයේ පදිංචිව සිටින බවත් පවුලේ ඥාතීහු පැවසූහ.

මියගිය චන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබඳව ශෝක වන්නන් අතර කැලණිය වනවාසල පාරමිතා වැඩිහිටි නිවාසයේ භාරකාර කොස්ගොඩ ඥානසිරි ස්වාමීන් වහන්සේ පැවසුවේ මෙම මරණය සමස්ත වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ටම දරාගත නොහැකි පාඩුවක් ලෙස සැලකිය හැකි බවය.

නිවාසයේ රෝගීන් වෙනුවෙන් අප්‍රමාණ සේවාවක් මෙම වෛද්‍යවරයා සිදුකළ බවත් රෝගීන් වෙත ගොස් කාරුණිකව ප්‍රතිකාර කරමින් රෝහල් වෙතද යොමු කළ බවත් උන්වහන්සේ පැවසූහ.