නව යුවළක් ගමන් ගත් මංගල රථයක් බණ්ඩාරගම මැදගම ප්‍රදේශයේ දී ඊයේ 05 වැතිදා සවස අනතුරට පත් වීමෙන් එම යුවළ ඇතුළු තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

තුවාල ලද අනෙක් දෙදෙනා දෙවැනි මනමාලයා හා රියැදුරු ද වන බව පොලිසිය කියයි. බණ්ඩාරගම අරුක්ගොඩ ප්‍රදේශයේ තරුණයකු හා පානදුර වලාන ප්‍රදේශයේ තරුණියක විවාහ ගිවිස ගැනීමේ මංගල උත්සවයට සහභාගි වී මධුසමය ගත කිරිම සඳහා හෝටලයක් කරා යමින් සිටිය දී මෙම අනතුර වී

ඇතැයි මූලික පරික්ෂණවල දී හෙළි වී තිබේ.
නව යුවළ රැගත් මංගල රථය බණ්ඩාරගම නගරය දෙස සිට කැස්බෑව දෙසට පැමිණෙන් තිබිය දී මැදගම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටුවක් ඇතුළු කුලුනු දෙකකට ද හානි කරමින් නිවසක් ඉදිරිපිට කඩා වැදී නතර වී ඇතැයි පොලිසිය කියයි.
සිදු වූ අනතුරත් සමග රැස්වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් බණ්ඩාරගම දිසා රෝහලට යොමු කළ අතර මූලික ප්‍රතිකාර වලින් පසුව පානදුර මූලික රෝහල වෙත යොමු කිරිමට පියවර ගෙන ඇත. තුවාලකරුවන්ගෙන් මනමාලියගේ තත්වය තරමක් බරපතළ බැවින් ඊයේ 05 වැනි රාත්‍රියේම කොළඹ ජාතික රෝහල
වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය
මනමාලයා හා දෙවැනි මනමාලයාගේ සිරුරේ තුවාල දක්නට ඇත. මෝටර් රථය පැද වූ රියැදුරුට බාහිරින් කිසිදු තුවාලයක් නැතැයි රෝහල් ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය. මෝටර් රථය ගේට්ටු කණුවේ ගැටීමත් සමග වායු බැලුන් දෙකම ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය කියයි..
මෝටර් රථයේ සිටි නව යුවළ එහි අසුන් යට හිර වී සිටි බවත් දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගත් බවත් ඔහුන් රෝහල් ගත කළ ප්‍රදේශවාසියෙක් පැවසීය.
මෝටර් රථය පැද වූ රියැදුරු මත්පැන් පානය කර සිටියා ද යන සැකයක් හටගෙන ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.  අනතුරින් මෝටර් රථයේ ඉදිරිපසට බරපතළ භානි සිදු වී ඇති අතර නිවෙස ඉදිරිපිට පිහිටා තිබූ ගේට්ටු පියන් පත් දෙක කුලුනු දෙක අඩි ගණනාවක් ඈතට විසි වී ඇතැයි පොලිසිය කියයි.

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)