තම බිරිඳ කොස්සක් කැඩෙන තුරු තමාට පහරදුන් බවට පොලිසියට පැමිණිල්ලක් කළ වෛද්‍යවරයකුට එම නීත්‍යනුකූල බිරියට අමතරව අනියම බිරියන් පස්දෙනකු සමග දරුවන් 13 දෙනකු සිටින බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී යැයි කොල්ලුපිටිය පොලිසිය කීය.

නීත්‍යනුකුල බිරියටද ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින අතර මේ තිදෙනාගෙත් අවුරුදු 2 1/2ක් වයසැති දරුවා රැගෙන යාමට ඔහු පැමිණි අවස්ථාවේදි බිරිය කොස්සක් කැඩෙන තුරු ඔහුට පහරදී ඇති බව හෙළිවීයැයිද පොලිසිය පවසයි.
බිරියගේ කොසු ප්‍රහාරය නොතකා දරුවා රැගෙන ගිය වෛද්‍යවරයා එම දරුවා සිය දෙවැනි අනියම් බිරිය බාරයට පත්කර සිටියදී කොල්ලුපිටිය පොලිසිය මැදිහත් වී දරුවා මුදාගෙන නිත්‍යානුකුල බිරියට බාරදී ඇත.

තමාගේ බිරිය තමාට කොස්සක් කැඩෙන තුරු පහරදුන් බවට වෛද්‍යවරයා කර තිබු පැමිණිල්ල කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි පි.එස්. දයාරත්න මහතාගේ විශේෂ උපදෙස් මත කොල්ලුපිටිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරිකෂක ප්‍රදීප් වික්‍රමරත්න මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා ඉනෝකා කුමාරි මහත්මිය හමුවී විභාගයට ගෙන ඇති අතර පැමිණිලි විභාගය සදහා පැමිණිලිකාර වෛද්‍යවරයාද, ඔහුගේ නිත්‍යනුකූල බිරිද දන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට ගෙන්වා තිබිණ.
එම්.බි.බි.එස්. උපාධිධාරියකු වූ වෛද්‍යවරයා කොළඹින් පිට පළාතක ශික්ෂණ රෝහලක සේවය කරමින් සිටියදී සේවය අතහැර ගොස් ඇති බව පැමිණිලි විභාගයේදී අනාවරණය වී තිබේ.
වෛද්‍යවරයාගේ නිත්‍යනුකුල බිරිය වෛද්‍යවරයාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවසක සිය දරු තිදෙනා ද සමග පදිංචිව සිටින බවද අනාවරණය වි ඇත.
වෛද්‍යවරයාට අනියම් බිරියන් පස් දෙනෙකු ඔවුන්ගෙන් දරුවන් 10 දෙනකු ද සිටින බව මෙම පරීක්ෂණයේදී හෙළි වී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
නිත්‍යනුකුල බිරිඳ තම වෛද්‍ය සැමියාට අනියම් බිරියන් පස් දෙනකු සිටින බව දැනගෙන ඇතැයි කියන්නේ ඔහු විවාහ කරගෙන ටික කාලයක් ගතවිමන් පසුව යැයි කියති. නිත්‍යනුකූල බිරිය වෛද්‍යවරයාට කොස්සකින් පහරදුන් බව කියන පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කළ බවද කොල්ලුපිටිය පොලිසිය කියයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)