මස් පිණිස ඇති කරනා බ්‍රොයිලර් වර්ගයේ කුකුළන් තිස් තුන්දෙනකු මරා කටගැස්ම සකසා මත්පැන් පානය කළ සැකකරුවන් හයදෙනකු අතරීන් සැකකරුවන් දෙදෙනකු කුකුළු මස් හරක්මස් සමඟම අනුරාධපුරය මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 09 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
අනුරාධපුර පොලිස් වසමේ කුඩා  නෙලුම්කුලම අරුණගම ප්‍රදේශයේ පවත්වාගෙන යන කුකුළු ගොවීපළක හිමිකරුවකු අනුරාධපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් හයදෙනා රාත්‍රි 

කාලයේ කුකුළන් 4000ක් පමණ සිටින ගොවිපළට ඇතුළු වී කුකුළු කුඩුවක දොර අගුළු කඩා කුකුළන් 33දෙනකු සොරාගෙන පොහොර උරවල බහා රැගෙන ගොස් ඇත. කුකුළන් 33 දෙදෙනා කැලෑවට රැගෙන ගොස්  ගෙල කඩා මරාදමා මත්පැන් පානය කිරීමට කටගැස්ම හදා ඇති බවත් පසුව මත්පැන් බෝතල හතරක් ගෙනැවිත් කුකුළු මස් කටගැස්ම කමින් මත්පැන් බී ඇති බව පොලිසිය පැවැසුවේය. කුකුළු ගොවිපළේ හිමිකරු පැමිණ කුකුළන්ට කෑම දැමීමට බලන විට එක් කුඩුවක දොරගුළු කඩා එහි සිටි සතුන් 33දෙනකු සොරාගෙන ඇති බව තහවුරු කරගෙන සොරකම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත. කුකුළු ගොවිපළ ආසන්නයේ පදිංචි තරුණයන් සොරකම් කරන්නට ඇති බව අනුමාන කර ඔවුන් සැක බව  පොලිසියට පවසා තිබිණි.

පොලිසිය ස්ථානය වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. 23 හැවිරිදි සැකකරුවන් දෙදනා මත්පැන් පානය කර වෙරි වී එම ස්ථානයේ වැටී සිහිමද ගතියෙන් සිටියදී අත්අඩංගුවට ගත් බවත්  ඔවුන් සොරකම් කර කටගැස්ම සකසා ඉන් ඉතුරු වූ කුකුළු මස් හට්ටියක් ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවැසුවේය. කුකුළන් 33 දෙනකු සොරාගෙන මත්පැන් සාදයට  කටගැස්ම සැකසූ බව ඔවුන් පොලිසිය  හමුවේ පිළිගෙන තිබිණි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 09 දින අනුරාධපුර  මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතරට සොරකමට සම්බන්ධ වී පලාගොස් සිටින සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.

-මහේෂ් විජේසුරිය-