නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ හිටපු නිවාස අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහත්වරුන් එකිනෙකාට අභියෝග කරගනිමින් සිදු වූ වචන හුවමාරුවෙන් ඊයේ (09දා) පාර්ලිමේන්තුව උණුසුම් විය.

දෙදෙනාම එකිනෙකාට චෝදනා කළ අතර, චෝදනා ඔප්පු කළ හැකි වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවටද අභියෝග කරගත්හ.

අමාත්‍යාංශ නිවේදන යටතේ සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යාංශයේ නිවාස ඉදිකිරීම් පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු දැක්වූ අතර,

එහිදී විමල් විරවංශ මන්ත්‍රීවරයා අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරමින්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස මහතාගේ අධාරකරුවන් කොන්ත්‍රාත් පදනම මත රඳවා තිබනවාදැයි විමසීය.  සජිත් ප්‍රේමදාස මහතා එම කාරණා ප්‍රතික්ෂේප කළ අතර විමල් වීරවංශ  මහතා අමාත්‍ය ධුරය දරන සමයේදී පවුලේ ඥාතීන්ට නිවාස ලබාදුන් බවට නාමලේඛනයක් ඉදිරිපත් කරන්නට විය.

 එහිදී එයට විරුද්ධ වෙමින් විමල්  වීරවංශ මහතා පැවසුවේ එම නම් සඳහන් කරන පුද්ගලයන් මේ වනවිටත් එම නිවාසවල රැදී සිටිනවා නම් තමා  මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

එවීට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  සඳහන් කළේ තමා ඉදිරිපත් කළ තොරතුරු සත්‍ය තොරතුරු බවත්, ඒවා අසත්‍ය නම් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත්ය. මේ ආකාරයට අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර, ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවද කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

 එමෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස සජිත් ප්‍රේමදාස සහ විමල් විරවංශ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතුවලට බාධා කරමින් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරීය මහතා දෝෂාරෝපණ සිදු කළේය.