දෙස් විදෙස් සැදැහැවත් බෞද්ධයන්ගේ වන්දනීය පූජනීය වූ අනුරාධපුරය මහමෙව්නා පුණ්‍ය භූමියේ පිහිටි ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉදිරිපිට දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගැසීම නතර කිරීමට කටයුතු කරන ලෙස
අටමස්ථානාධීපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක  හිමිපාණන්ගෙන්  ඉතා ගෞරවනීය ඉල්ලීමක් සිදු කළ බව සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා පැවැසුවේය. මාස කිහිපයක සිට ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන ඇතැම් පිරිස් වැලි මළුවේ ස්ථානයක

පොල් ගසන අයුරු නිරීක්ෂණය වූ බවත් එය එදින සිදු වූ යම් වැදගත් කටයුත්තක් බව සිතුවත් දිගින් දිගටම එය සිදුවන බව දැන ගන්නට ලැබීම නිසා සිය සංවිධානයේ සාමාජිකයන් පිරිසක් හා තවත් බෞද්ධ තරුණයන් පිරිසක් පැමිණ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අබියස පොල් ගැසීම නතර කරන ලෙස නායක ස්වාමීන් වහන්සේගෙන් ගෞරවනීය ඉල්ලීමක් කළ බව සභාපතිවරයා පැවැසුවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා.
මේ ස්ථානයට අපි ගරු බුහුමන් කරන්නේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටිනා ස්ථානය කියලා හිතාගෙන. අද වන විට කපු මහත්වරුන් සිටින ස්ථානයට පහළින් කළු ගලක් තියලා පොල් ගහනවා. ශ්‍රී මහ බෝධිය කෝවිලක් නෙවෙයි. මෙතැන රජ සමයේ කෝවිලක් තිබිලා සුදුසු නෑ කියලා ඒක අයින් කරලා තියනවා කියලා පොත්පල සඳහන් වෙනවා. මම ඇතුළු සාමාජිකයන් 20 දෙනකු පමණ ඒ පිළිබඳ අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැකලා කිව්වා. නමුත්  උන්වහන්සේ කිවිවේ ඒකේ වරදක් නෑ කියන එක තමයි. උන්වහන්සේ ඒ පිළීබඳ අවධානයක් යොමු කරපු ආකාරයක් පෙනුනේ නෑ යනුවෙන් ඔහු පැවසුවේය.

-මහේෂ් විජේසුරිය-