වාද්දුව වෙරළ පාරේ සංචාරක හෝටලයක අගෝස්තු මස 04 රාත්‍රී සංගීත සාදයක් පවත්වද්දී සිහිමූර්ජා වීමෙන් පසුව පානදුර රෝහලට ඇතුළත් කළ පසු සිවුදෙනකු මියයෑම පිළිබඳව වාද්දුව පොලීසිය මගින් කරගෙන යන
පරික්ෂණයෙන් හෙළි වූ කරුණු මත එම සංගීත සාදයට එදා ආරක්ෂාව සැපයූ ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ විධායක නිලධාරීයකු සහ එම සංචාරක හෝටලයේ විධායක නිලධාකු පානදුර අතිරේක මහෙස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය විසින් මෙම මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කරන ලදී.


මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අමිල පුෂ්පකුමාර සහ එරන්ද දන්තනාරායන දෙදෙනාය. ඔවුන් වාද්දුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසු 'බී' වාර්තාවක් සමඟ වාද්දුව පොලිසියේ උප පොලිස් පරික්ෂක සුගත් මහතා මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරිණී. උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කියා සිටියේ මෙම මරණ පිළිබඳව පුවත්පත්වලින් මහජනයා කුපිත කරවන ප්‍රවෘත්ති පළ කරන ලද බවය. මියගිය අයගේ මරණ කෙසේ සිදුවීද යන්න සොයා ගැනීමට හැක්කේ රජයේ රස පරීක්ෂකවරයා විසින් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ලැබුණු පසුවය. මත්ද්‍රව්‍ය හෝ මත් ටැබ්ලට් හමුවූයේ නැත.

එදා රැ ආරක්ෂක සේවයේ සිටි ඇවන්ගාඩ් ආරක්ෂක සේවකයන්ගේ සහ හෝටලයේ සේවකයන් අතුළු 23කගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. සාදය පැවැත්වූ ශාලාවේ 1,000කට පමණ පහසුකම් ඇත. එහෙත් 1,500කට වැඩි දෙනකු එම සාදයට සහභාගි වී මත්පැන් පානය කර ඇත. කාමර ශාලාවේ වෙනත් පහසුකම් නැත. වාතාශ්‍රය පිටවීමට ජනේල්ද නැත. වායු දුෂණයක් වීද යන්න සැකයක් පවතී යැයිද උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට පැවැසීය. පොලිසිය අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නේ නැතැයි සැකකරුවන්ගේ නීතිඥවරයා අධිකරණයට පැවසීම තමා හෙළා දකින බවද උප පොලිස් පරීක්ෂකවරයා පැවැසීය.

 සැකකරුවන්ගේ නීතිඥ පිතිසිරි පෙරේරා මහතා කියා සිටියේ පොලිසිය විධිමත් පරීක්ෂණයක් නොපත්වා සැකකරුවන් දෙදෙනා අපරාධ නීති සංග්‍රහයේ 327 චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය. මෙම චෝදනාව සාමාන්‍යයෙන් පොලීසිය  ඉදිරිපත් කරන්නේ පාපැදි අනතුරක් සිදු කළ පාපැදිකරුවකුට විරුද්ධව යැයිද නීතිඥවරයා පැවැසීය. සැකකරුවන් වරදක් කර නොමැති හෙයින් ඔවුනට ඇප දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන්  ඉල්ලා සිටියේය.සියලු වාර්තා රස පරීක්ෂකවරයාගෙන් ලබාගෙන ඊළග දිනයට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වාද්දුව පොලිසියට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය  සැකකරුවන් දෙදෙනා අගෝස්තු මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළාය.

-එස්.ප්‍රනාන්දු-