"පානදුර කෙසෙල්වත්ත ජය මාවතේ මගේ ගෙදර පුතයි මිතුරයි ඉන්නකොට පොලිසියේ කට්‌ටියක්‌ දුවගෙන ඇවිත් පුතාව අල්ලගෙන පැත්තකට අරන් ගියා. එහිදී එක්‌ අයෙක්‌ පුතාගේ පපුවටයි, බඩටයි පයින් ගැහුවා"
 යැයි පානදුර කෙසෙල්වත්ත ජය මාවතේ පදිංචිව සිටියදී පොලිස්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කළුතර බන්ධනාගාරගත කර සිටියදී පසුගිය 02 වැනිදා මියගිය රංජිත් චමින්ද ප්‍රනාන්දු (37) නමැත්තාගේ මව  ඊයේ (05 දා) පැවසුවාය.



රන්මාල සොරකමක්‌ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කර කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගිය රංජිත් චමින්ද ප්‍රනාන්දු නමැත්තා පොලිස්‌ සහ බන්ධනාගාර නිලධාරීන් පහරදීම නිසා මියගිය බව ඔහුගේ පවුලේ අය චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී මියගිය පුද්ගලයාගේ මව වන ලෝරා හෙලන් ජයතිලක (82) මහත්මිය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

"මට දරුවෝ දහ දෙනෙක්‌ ඉන්නවා. මියගියේ බාල පුතා. දරුවන් තුන් දෙනෙක්‌ මීට පෙර මියගොස්‌ තිබෙනවා. බාල පුතා

එයාගේ යාළුවත් එක්‌ක ජුලි 29 වැනිදා රාත්‍රි 8.30 ට විතර මගේ ගෙදර ඉඳලා යාළුවා බස්‌සන්න ඉස්‌සරහට යන්න හදනකොටම කාරයකින් සහ යතුරුපැදි තුනකින් පැමිණි පිරිසක්‌ පුතාවයි යාළුවාවයි අල්ල ගත්තා.

එක්‌ කෙනෙක්‌ මගේ පුතාව පැත්තකට අරන් ගිහින් පපුවට පයින් ගැහුවා. ඊළඟට බඩටත් ගැහුවා. පුතා අමාරුවෙන් වගේ ඉන්නවා මම දැක්‌කා. ඒ වෙලාවේ නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් ඒ පිරිස හිටියා. මම බය වෙච්ච නිසා එතනට ළං වුණේ නැහැ. පුතාව පානදුර උතුර පොලිසියෙන් අල්ලලා පානදුර දකුණ පොලිසියට දුන්නා කියලා මට ආරංචි වුණා. පහුවැනිදා පුතා බලන්න ගියාට බලන්න දෙන්නේ නැහැ කියලා මට කිව්වා. මම ගියාම පුතා කිව්වා මට ගැහුවා කකුල් රිදෙනවා කියලා.

පුතා මොරටුවේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලැබුවා. සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස්‌ පෙළ හදාරමින් ඉන්න කොට විවාහ වුණා. රට යවන්න පාස්‌පෝට්‌ හදලා තියෙන කොටයි පුතා විවාහය කරගත්තේ. දිග්ගල බස්‌ එකේදී මත්කුඩු වගයක්‌ සමඟ පොලිසිය පුතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර මාස 08 කට විතර පස්‌සේ ඇප මත මුදාහැරලා සිටියදී තමයි මේ දේ සිදුවුණේ. පුතා මත්කුඩුවලට ඇබ්බැහි වෙලා සිටියා. පුතාව පොලිසිය අත්අඩංගුවට අරන් තියෙන්නේ රන් මාල සොරකමක්‌ සම්බන්ධයෙන් කියලා පොලිසියෙන් දැනගන්න ලැබුණා.


මගේ පුතා මීට පෙර මත්කුඩු චෝදනාව යටතේ කළුතර බන්ධනාගාරයේ සිටියදී ජංගම දුරකථනයක්‌ ළඟ තබා ගත්තාට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී බන්ධනාගාර නිලධාරීන් පුතාට ගහල ප්‍රශ්න කරනකොට ඒ ජංගම දුරකථනය ලබාදුන්න නිලධාරියාගේ නම පුතා කියලා තියෙනවා.

ඒ නිසා කළුතර බන්ධනාගාර නිලධාරීනුත් පුතා සමග තරහෙන් ඉඳලා තියෙන්නේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක්‌ දෙන්න කියලා බන්ධනාගාරයෙන් කැඳවීමකුත් කරලයි තිබුණේ. ඒ සිද්ධිය නිසා බන්ධනාගාරය තුළදීත් නිලධාරීන් ගැහුව කියලා පුතා සමඟ බන්ධනාගාරයේ සිට ඇපපිට මුදාහැරිය ඔහුගේ මිතුරෙක්‌ කිව්වා. බන්ධනාගාරයේදී පුතා 02 වැනිදා උදේ පපුව රිදෙනවා කියලා තියනවා. පුතාට අමාරු වෙලා සවස රෝහල් ගතකළ බව ඔහුගේ මිතුරා මට කිව්වා.

මියගිය චමින්ද ප්‍රනාන්දු මහතාගේ බිරිඳ වන දිලානි රන්දිකා සමරසිංහ (30) මහත්මිය මෙසේ පැවසුවාය.

මගේ සැමියා අම්මලාගේ ගෙදර සිටියදී තමයි පොලිසියෙන් අල්ලගෙන තියෙන්නේ. ඒ වෙලාවේ එයාට

පොලිසියෙන් ගැහුව කියලත් දැනගන්න ලැබුණා. සැමියා රත්මලානේ පෞද්ගලික ආයතනයක කලාප කළමනාකරුවෙක්‌ ලෙස සේවය කළා. මට දිල්මි රෂීනා (12), රජිඳු කවීෂ (10), දිලුම් ආකර්ෂ (07), සයුරි ආකර්ෂා (07) (නිවුන්නු) දරුවෝ 04 දෙනෙක්‌ ඉන්නවා. ඒ අය පාසල් යනවා.

මගේ මහත්තය නැතිව මම කොහොමද දරුවන් පාසල් යවා උගන්වන්නේ? සැමියා වරදක්‌ කළානම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා. ඒත් ඇයි පහරදීලා මරන්නේ. දැන් අපි ගැන බලන්න කවුරුත් නැහැ. මහත්තය මත්කුඩු පානයට පුරුදු වී සිටියට ඔහුට සොරකම් චෝදනා තිබිල නැහැ. මහත්තය අත්අඩංගුවට ගෙන තියෙන්නේ ජුලි මාසේ 29 වැනිදා. එයාව උසාවි දාලා තියෙන්නේ අගෝස්‌තු 01 වැනිදා. අගෝස්‌තු 02 වැනිදා උදේ පපුව රිදෙනවා කියපු වෙලාවේ මහත්තය රෝහලට අරගෙන ගියා නම් එයාගේ ජීවිතය බේරා ගන්න පුළුවන් වෙනවා. මම අහන්නේ පපුව රිදෙනවා කියලා කියද්දී ඇයි බන්ධනාගාර මහත්වරු එයාට අසාධ්‍ය වෙනකම් ඉඳලා රෝහලට අරන් ගියේ කියලයි.

මියගිය රංජිත් චමින්ද මහතාට පානදුර පොලිසිය විසින් පහරදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඉන්දික ද සිල්වා මහතාගෙන්  කළ විමසීමේදී මෙසේ කීය.

රංජිත් චමින්ද නමැත්තා අත්අඩංගුවට ගත්තේ පානදුර උතුර පොලිසියෙන් නෙමෙයි.  පානදුර දකුණු පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌. ඔහුට පොලිස්‌ නිලධාරීන් පහරදීමක්‌ සිදුකර නැහැ. ඒ වගේම මාධ්‍යයට තොරතුරු දෙන්නත් බැහැ. පොලිස්‌ මූලස්‌ථානයෙන් මේ ගැන විමසීමක්‌ කළොත් සියලු තොරතුරු පොලිස්‌ මූලස්‌ථානයට දෙන්න පුළුවන්. එහිදී මාධ්‍යයට අවශ්‍ය තොරතුරු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් ලබාගන්නත් පුළුවන්.

මේ සම්බන්ධයෙන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ සඳහන් කළා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ මත කළුතර පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙහි එක්‌ පියවරක්‌ ලෙස තමයි කළුතර මහෙස්‌ත්‍රාත්වරයා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නියෝග කර තිබුණේ. එහිදී විවෘත තීන්දුවක්‌ ලබාදී පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ලබා දෙනතෙක්‌ සිටිනවා. එම වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි විමර්ශන සිදුකරනවා.

මියගිය රංජිත් චමින්ද නමැත්තාගේ දේහය පානදුර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (06 දා) සවස සිදුකිරීමට නියමිතව තිබේ.

චමින්ද සිල්වා  - විජයසිරි විද්‍යාසේකර  - සිරිසෝම සුසෙව්හේවා