ෆේස්බුක් හරහා ඇතිකළ ප්‍රචාරණයන් මගින් සංවිධානය කොට වාද්දුව ප‍්‍රදේශයේ වෙරළ හෝටලයක පවත්වනු ලැබූ ඩී.ජේ. පාටියක් අතරතුර හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් සිවු දෙනකුගෙන් තිදෙනකු ඊයේ (05දා) ජිවිතක්ෂයට පත්වී තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ
කැස්බෑව ප්‍රදේශයේ පදිංචිව සිටි එරන්ද පෙරේරා (36), දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී මෙලාන් ශාමික (20) සහ මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිරි විදුරංග දල්ෂාන් (31) යන තිදෙනාය.  රෝහල්ගත කළ අනෙක් තැනැත්තාගේද  තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.  දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ පොතුහැර 22 හැවිරිදි තරුණයෙකි.
කඩුවෙල වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් මඟින් ‘හයිජේ ලීචින්‘ නමින් නම් කොට මෙම සාදය සංවිධානය කොට ඇත.
ඒ සඳහා අදාළ අංශ වලින් පූර්ව අවසරයද නිසි පරිදි ලබාගෙන

තිබී ඇත.
සාදය ප්‍රසිද්ධ පෙළේ ආරක්ෂක සමාගමක ආරක්ෂාව යටතේ සංවිධානය කර ඇති අතර පිටතින් දේවල් රැගෙන ඒමද තහනම් කර තිබී ඇත.
පෙරේදා (4දා) රාත්‍රී 7.30ට පමණ ආරම්භ වී ඇති මෙම සාදයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එක්දහස් අටසියයක් පමණ පිරිසක් සහභාගි වී ඇති බවත් එහි සංවිධායකයන් එක්‌ අයකුගෙන් ප්‍රභූ ප්‍රවේශපත්‍ර රුපියල් පන්දහසකට සහ සාමාන්‍ය ප්‍රවේශපත්‍ර රුපියල් තුන්දහසකට අලවි කොට ඇති බව පොලිසිය පවසයි.
 සාදයේදී පානය කළ පෙති හෝ දියරයක්‌ විසවී මේ සිව් දෙනා රෝගාතුරවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

අද (6 දා) සිදුකරන මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයෙන් පසු මේ පිළිබඳ නිගමනයකට එළඹිය හැකි බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌  පැවැසීය.
සාදයට සහභාගී වූවෙක් පවසා තිබුනේ එම ගොඩනැගිල්ලේ ඇතුලත තවම පිළිසර කර නැති බවත්, බිම  දූවිලි සහිත වූ නිසා ඒවා ආඝ්‍රහනය වී මෙලෙස

සිදුවන්නට ඇති බවයි.නමුත් නීරීක්ෂණ වලදී  එම  ගොඩනැගිල්ලේ බිම මනාව ටයිල් අතුරා ඇති අයුරු දැකගන්නට ලැබිණ.
සාදය පවත්වා ඇති ගොඩනැගිල්ල දෙමහල් ගොඩනැගිල්ලක්වූ අතර එහි ඉහළ මහළේ මත් පෙති ඇසුරුම් යයි සැක කළ හැකි කුඩා පොලිතින් බෑග් තිබී හමුවූ බව පොලිසිය දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් එය සංවිධානය කළ ආයතනයේ ප්‍රචාරක කළමනාකරුගෙන් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය පවසයි. මෙම සාදය පැවැති පෙරේදා (4දා) දින පෙ.ව. 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා රටබීම විකිණිම සඳහා වූ විශේෂ බලපත්‍ර යටතේ බියර් අලෙවි කිරීම සඳහා අවසර ලබාගෙන ඇති බවත්, ශාලාවේ ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්‍ෂක ආයතනයකින් සේවය ලබාගෙන ඇති බවත්, පරීක්‍ෂවලදී අනාවරණය වී ඇත.
දෙස් විදෙස් ගායක ගායිකාවන් කිපදෙනකුද සහභාගි වී ඇති මෙම සාදය අතරතුර සිවුදෙනකු රෝගී වී ඇති අතර සාද භූමියේ තිබූ ගිලන් රථයකින් ඔවුන්ව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.  මෙම සාදයට සහභාගි වූවන් විවිධ මත්පෙතිද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. ඊයේ පස්වරු 7.00 පමණ වාද්දුව පොලිසියට මෙම සිද්ධිය වාර්තා වීමෙන් අනතුරුව ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. ජීවිතක්‍ෂයට පත්වූවන් දෙදෙනකු ඊයේ අලුයම කාලයේදීත් අනෙක් තැනැත්තා පස්වරුවේත් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.  එම මෘතදේහයන් පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා පානදුර රෝහලේ තැත්පත් කර තිබේ. පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අද (6දා) දින සිදු කිරීමට නියමිතව ඇත.