සිනමා නිළි දුලානි අනුරාධා  රංගන ශිල්පිනියකට අමතරව නර්තන ආචාර්යවරියක ලෙසද සේවය කරන්නියකි. ඇය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාත්මකව විශාල නොවුණත් මතකයේ රැඳෙන රඟපෑම් රැසක්ම
සිදු කළ තැනැත්තියකි.
පහත පළවන්නේ ඇය සමග කළ සංවාදයකි.

කොහොමද දුලානි..

හොඳින් ඉන්නවා

කාර්ය බහුල කාලයක් අවසන් කළා කියා ආරංචියි..


අපෝ ඔව්. පහුගිය කාලයේ පාසල් ළමයින්ගේ විභාග කටයුතු නිසා කාර්ය බහුලවෙලා හිටියා.නර්ථන ආචාර්ය වරියක ලෙස මෙවර උ.පෙළ සඳහා මුහුණ දෙන සිසුන්ට ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා දුන්නා. දැන් ඉතින් පාසල් නිවාඩු කාලය නිසා ටිකක් විවේකයෙන් ඉන්නවා.

දුලානි කලාවෙන් ඈත් වෙලාද..

නැහැ. කලාවෙන් ඈත් වෙන්න කිසිම අදහසක් නැහැ.

එහෙනම් ඇයි කලාවේ දකින්න නැත්තේ‍..

මම කොහොමත් නිතරම කලාවේ පේන්න ඉන්න චරිතයක් නෙමෙයි. තෝරා බේරාගත් චරිත පමණයි රඟපාන්නේ. ඒ අතරත් චිත්‍රපටවලට විශේෂ තැනක් දෙනවා. පසුගිය දවස්වල ධම්මික තිසේරාගේ ඉලක්කය සහ ළමා චිත්‍රපට දෙකක රඟපෑවා. එම චිත්‍රපට ඉදිරියේදි තිරගතවීමට නියමිතයි. වෙයි.

කොහොමද මේ වෘත්තීන් දෙකම සමබරව කරගෙන යන්නේ..

ගොඩක් වෙලාවට රංගන කටයුතුවල නියැළෙන්නේ පාසල් නිවාඩු කාලයේ සහ ‍සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී. රියැලිටි වැඩසටහන් සහ ‍රූපවාහිනි නාලිකාවලින් ආරාධනාකරන ගේම් ෂෝ වැනි වැඩසටහන්වලට ආරාධනා ලැබුණත් භාර ගන්නෙ නැහැ. පසුවදා ඉස්කෝලෙ යන්න තියෙන නිසා.

දුලානි ආඩම්බරයි කියන කතාව ඇත්තක්ද..?

කවුද කිව්වේ මම ආඩම්බරයි කියා. මම ආඩම්බර නෑ. මම දන්න කිසිම කෙනෙක් එහෙම කියන්නෙ නැහැ.

ඒ නිසාද පාසලේ ළමයි හොරෙන් බලන්නේ..

ඒකනම් ඇත්ත තමයි. අලුුතෙන් අපේ පාසලට එන ළමයි මට තේරෙනවා මගේ දිහා හොරෙන් බලනවා. මම අඳින්නෙ මොනවද බලනවා. ටික දවසක් යනකොට ඒ අයට මාවත් අනෙක් ටීචර්ස්ලව වගේම සාමාන්‍ය කෙනෙක් වෙනවා.

දුලානි සිනමාවට එන්නේ අබා චිත්‍රපටයෙන්..


ඔව්. ජැක්සන් ඇන්තනීගේ අබා චිත්‍රපටයෙන්. අබා මාව වෙනස් මාවතකට යොමුකළා. මෙරට සිනමා කලාව වෙනස් කළ චිත්‍රපටයක් ලෙසයි මම අබා දකින්නේ. එහි ගුම්බකබූතාගේ චරිතය තමයි කළේ. එය අදටත් ප්‍රේක්ෂකයන්ට මතක තිබෙනවා.

ඉන් පසුව ඔබ සිනමාවට නැතුවම බැරිව ගියා..


අපෝ නැහැ. තවම චිත්‍රපට හයක් විතරයි කළේ. එයින් චිත්‍රපට තුනක් විතර එන්න තියෙනවා.

ඇයි වැඩිපුරම ‍‍ඵෙතිහාසික චිත්‍රපටවලට ආරාධනා ලැබෙන්නේ..

ඒකනම් කියන්න මටත් තේරෙන්නෙ නැහැ. නමුත් මම හිතනවා අධ්‍යක්ෂවරුන්ට මගේ ස්වරූපය පෙනෙන්නෙ ඒ වගේ වෙන්න ඇති.කොහොමත් මම කැමැතියි ‍රසිකයන්ට දැනෙන යමක් කරන්නට. ඒ නිසයි ටෙලිනාට්‍ය වුණත් භාරගන්නෙ නැත්තෙ.

සිනමා නිර්මාණවල පමණක් පෙනී සිටින්නද කල්පනාව..


මම කලාවට ආවේ සිනමාවෙන්. ඒ නිසා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. කොහොමටත් මෙගා නාට්‍ය රැල්ලට මම කැමැති නැහැ. අපි රසට කෑමක් හැදුවොත් ඕන කෙනෙක් කන්න කැමැතියිනේ. ඒ වගේ තමයි නිර්මාණයක් වුණත් ලස්සනට කළොත් කවුරුත් ආසාවෙන් වැලඳගන්නවා. ඒ නිසයි ධර්ම යුද්ධය, හෝ ගානා පොකුණ, වැනි සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැලඳගත්තේ.

දුලීකා හිතන්නෙ රංගනයට හැදෑරීමක් කළ යුතුයි කියාද..

රංගනය ගැන අපේ රටේ හදාරන්න තැනක් නෑ. කෙනෙක් ආවනම් ආවෙ දක්ෂතාවයෙන්. අද වන විට නම් හදාරා ආවත් චරිත ලැබෙන්නේ වෙනත් බලපෑම් සහ තෝරා ගැනීම් මත. ඒ නිසා මම හිතන්නේ අපේ කලාව තුළ දැනට වඩා නිර්මාණ සඳහා දක්ෂයින්ව තෝරා ගන්නවානම් හොඳයි.

දේශපාලනයට ආරාධනා ලැබුණොත්..

ඒ ගැන කිසිම අදහසක් නැහැ.

කාවද ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ..

කලා ක්ෂේත්‍රයේ ‍කිසිවකු ළඟින් ඇසුරු කරන්න ලැබෙන්නෙ නෑ. පාසල් වැඩත් එක්ක කාර්ය බහුල නිසා අත්‍යවශ්‍ය දේකට ඇරෙන්න කිසිම දේකට යන්නේ නැහැ.

හැමදාමත් රංගනයයි, ගුරු වෘත්තියයි කරන්නද කල්පනාව..

මම දන්නව අහන්න යන්නේ මොකක්ද කියල (හිනා). තවම ඉතින් මට හිමි කෙනා හමුවුණේ නැහැ.

ගෙදරින් මනාලයෝ හොයනවා කියන්නේ ඇත්තක්ද..

අපේ අම්මයි, අයියයි ඒ ගැන උනන්දුයි. කොහොමත් මම හොයන්නෙ මාත් සමග සැහැල්ලුවෙන් මැරෙනතුරු ඉන්න පුළුවන් කෙනෙක්. විශේෂයෙන් ඔහුට මගේ වෘත්තීන් දෙක පිළිබඳවම අවබෝධයක් තිබිය යුතුයි.

සාකච්ඡාව-නයනා වෑත්තෑව,  ඡායාරූප - මාලන් කරුණාරත්න (රසඳුන)